දරුවන්ට තරගෙට සීනි කැවීමේ අන්දරේගේ තියරිය!
20 June 2025
දරුවන්ට තරගෙට සීනි කැවීමේ අන්දරේගේ තියරිය!
20 June 2025
පෙර පාසල් දරුවන්ට ලබාදෙන ආහාර පානවල නියමිත ප්‍රමාණයට වඩා සතර ගුණයක සීනි අන්තර්ගත බව පර්‌ෙ ය්ෂණයකින් තහවුරු වී තිබේ. මේ රටේ සීනි භාවිතය අන්දරේ සීනි කෑවාට දෙවැනි වන්නේ නැත. එදා අන්දරේ සීනි කෑවේ උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් යැයි කියමිනි. අන්දරේගේ සහ උන්නැහේගේ පුතාගේ කටේ පස් කෙසේ වෙතත් වර්තමානයේ බොහෝ දෙනකුට අනිසි සීනි භාවිතය හේතුවෙන් ඉක්මනින්ම කටට පස් වැටෙන බව සඳහන් කළ හැකිය.
සීනි භාවිතයේ ආදීනව පිළිබඳ වෛද්‍යවරු, හෙදියෝ ඇතුළු අනෙකුත් සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ අය නිරන්තරයෙන් මහජනතාව දැනුවත් කරති. විශේෂයෙන් කුඩා දරුවන්ට සීනි සහ ලුණු ලබාදීම පිළිබඳ මග පෙන්වීම් කරති. එහෙත් අද මවුපියන් ඇතුළු අනෙකුත් වැඩිහිටියන් තමන්ගේ කටේ පස් තබා ගැනීමෙන් නතර නොවී කුඩා දරුවන්ගේ කටට ද පස් දමන බව ළදරුවන් අධික සීනි සහිත ආහාරපානවලට ඇබ්බැහි වීමෙන් තේරුම් ගත හැකිය.
බොහෝ මවුපියන් දරුවන්ට තම ආදරය සෙනෙහස පෙන්වීම සඳහා කරන මෝඩකම් අතර ප්‍රධාන එකක් වන්නේ ඔවුන් කඩචෝරුවලට ඇබ්බැහි කිරීමය. කුඩා දරුවන් සීනිවලට ඇබ්බැහි වන්නේ මේ කඩ චෝරු සෙල්ලමෙනි. අඬන දරුවන් නැළවීමටත් වැඩිහිටියෝ සීනි අධික, කෘත්‍රිම වර්ණකාරක සහිත කඩචෝරු ආදිය දරුවන්ට ලබා දෙති. ඒවා වරක් දෙවරක් ලබාදීමෙන් නතර වන්නේ නැත. යළි යළිත් ලබා දෙති. කුඩා දරුවෝද ඒවා ලබා ගැනීම සඳහා නැවත නැවත මවුපියන්ට කරදර කරති. මේ එක් පැත්තකි.
මෙපරිද්දෙන් සීනි අධික ආහාරපානවලට දරුවන් ඇබ්බැහි කිරීමෙන් මවුපියන් ඔවුන්ට කරන්නේ හතුරුකමක් බව අවධාරණය කළ යුතුය. එයට හේතුව සීනි අධික භාවිතය හේතුවෙන් දරුවන් ළමා දියවැඩියාව, අධික ස්ථුලතාව ඇතුළු රෝග රැසකට ගොදුරු වන හෙයිනි. මෙසේ ප්‍රමිතියක් නැති ආහාරපාන දරුවන්ට ලබා දීම හේතුවෙන් ඔවුන් විඳින දුක් කන්දරාව කෙබඳු එකක් දැයි දෑසින්ම බලා ගැනීමට නම් මහරගම අපේක්ෂා රෝහලට යා යුතුය. එහි කුඩා දරුවෝ රැසක් ප්‍රතිකාර ලබති. දරුවන් මෙසේ පිළිකාව ආදී රෝගවලට ගොදුරුව තිබෙන්නේ මවුපියන්ගේ වැරදි ආහාරපාන රටාව නිසාය. අවසානයේ මවුපියෝ දෙවියන්ට බුදුන්ට කියමින් දුක් ඇතිව වැලපෙති. එහෙත් තම දරුවන්ට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා දීමට යොමු වූයේ නම් මෙවැනි සෝචනීය ඉරණමකට දරුවන් ගොදුරු වන්නේ නැත.
තරගකාරී ජීවන රටාවකට හුරු වී සිටින බොහෝ මවුපියන් තම දරුවා පෙර පාසලට හෝ පාසලට රැගෙන යාමට පෙර දරුවන් සමග ගමන් කරන්නේ ක්ෂණික ආහාර වර්ග අලෙවි කරන කඩවලටය. ඉන්පසු තමන්ට අවශ්‍ය ආහාරය තෝරන්නේ මවුපියන් නොව නොදරුවන් විසිනි. මවුපියෝ නොදරුවන් ඉල්ලන දේම ලබාදෙති. මේ බොහෝ ආහාරවල කිසිදු ප්‍රමිතියක් නැත. ඒවායේ තිබෙන්නේ පාන් පිටි සහ සීනි පමණි. එසේ එම කෘත්‍රිම වර්ණකාරක සහ රසකාරකය.
සමහර මව්වරු මව්කිරි ලබාදීම නතර කළ සැණින් විවිධ ක්ෂණික ධාන්‍යමය ආහාර හෙවත් සීරියල් වර්ග දරුවන්ට හුරුකරති. මෙම සීරියල් වර්ගවල කිසිදු ප්‍රමිතියක් නොමැති බවත් ඒවායේ අධික සීනි අඩංගු බවත් ජාත්‍යන්තර නඩු තීන්දුවලින් සනාථ වී තිබේ. විශේෂයෙන් මේවා නිෂ්පාදනය කරන සමාගම් ආසියා සහ අප්‍රිකානු කලාපයට ප්‍රමිතියෙන් තොර, එසේම සීනි අධික නිෂ්පාදනත් යුරෝපීය රටවලට ප්‍රමිතියක් සහිත සීරියල් වර්ගත් නිෂ්පාදනය කරන බව තහවුරු වී තිබේ. එසේ ම යුරෝපීය රටවල නිෂ්පාදනවල අඩංගු සීනි ප්‍රමාණය ආදිය අන්තර්ගත වෙයි. මේ ආකාරයට ලෝකයේ ඌන සංවර්ධිත සහ සංවර්ධිත කලාප සඳහා ළදරු ආහාර නිෂ්පාදනය කිරීමේදී වෙනස් ආකාර දෙකකට කටයුතු කිරීම බෙහෙවින් කතාබහට ලක්වූ කරුණකි.
දරුවන්ට ලබාදිය යුතු ආහාරපාන මොනවා දැයි අපේ පැරණි වැඩිහිටියෝ හොඳින් දැන සිටියෝය. එහෙත් වර්තමාන මවුපියන් ළදරු ආහාරපාන පිළිබඳ තීරණ ගනුයේ වෙළෙඳ දැන්වීම්වලට අනුවය. අපේ පැරැන්නන් ළදරුවන්ට ලබා දුන් ධාන්‍ය වර්ග, සාම්ප්‍රදායික අල වර්ග ආදිය ලබා දීම මදිකමක් සේ සමහර නූගත් මව්වරු පියවරු කල්පනා කරති. ඔවුන් සිතන්නේ සීනි සහ පාන් පිටි එකතුකර වර්ණ කාරකවලින් හැඩ කළ ආහාරපාන ආදිය පෙර පාසල් සහ පාසල් යන දරුවන්ට ලබා නොදීම හේතුවෙන් ඔවුන් අනෙක් දරුවන් අතර කොන් වන බවය. මේ මුග්ධ, අමනෝඥ ආකල්පවල ප්‍රතිඵල දරුවන්ට භුක්ති විඳීමට සිදුව ඇත. අලුත් වෛද්‍ය පර්‌ෙ ය්ෂණවලින් තහවුරු වී තිබෙන්නේ ළදරුවකුගේ මුල් දින දහස තුළ ඔවුන්ට සීනි ලබා නොදීමෙන් වැඩිහිටි වියට එළැඹෙන විට වැලඳිය හැකි දෙවැනි වර්ගයේ දියවැඩියාව ඇතුළු රෝග රැසක් වැලඳීමේ ඉඩකඩ සීමා වන බව ය. පිලිපීන ආණ්ඩුව ළදරු ආහාර නිෂ්පාදනය කරන සමාගම් ඒ ආහාරවලට සීනි එකතු කිරීම වැළැක්වීම සඳහා පනතක් සම්මත කර ගැනීමට අවධානය යොමු කර තිබේ. ලංකාවේද විවිධ නීති තිබුණද ඒවා ක්‍රියාත්මක වන්නේ නැත. නීතියෙන් කෙරෙන කම් බලා නොසිට මවුපියන් තම දරුවන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් පියවර ගත යුතුය.