brand logo
logo
  ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තුවට සිදුවන දේ

ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තුවට සිදුවන දේ

03 May 2026


මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව ඊයේ (02) දිනයේදී ඉන්ධන මිල වෙනස් වුවද එම වෙනස්වූ මුදල බස් ගාස්තු සංශෝධනය සඳහා ආදේශ කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.


අද (03) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ එම සංශෝධනය වූ මුදල ආදේශ කළ නොහැකි නමුත් බස් රථ ධාවනයේදී පාඩු ලැබීමට බස් රථ හිමියන්ට මේ වන විට සිදුව ඇති බවය.


ඒ අනුව මෙම ගාස්තුව ඉහළ යාමත් සමගම ඇතිවන පාඩුවද බස් හිමියන්ට දරාගැනීමට සිදුවන බවද ඒ මහතා සඳහන් කළේය.


කෙටි ගමන් සේවාවලින් දිනකට රුපියල් 500කට ආසන්න ප්‍රමාණයක් පාඩු සිදුවන බවත් දුරගමන් සේවා සඳහාද දෛනිකව රුපියල් 1,500කට ආසන්න පාඩුවක් සිදුවන බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.


ජූලි මාසයේදී පළමු දින වන විට වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිත බැවින් ඒ සඳහා අනෙකුත් පිරිවැයන්ද එකතු වන බව පැවසූ ඒ මහතා මේ වන විට රුපියල් 10කින් ඩීසල් මිලෙහි ඉහළ යාමක් සිදුවිම මේ මොහොතේ බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා ඉල්ලීම් කිරීමට බස් රථ හිමියන්ට නෛතික හැකියාවක් නොමැති බවද සඳහන් කළේය.


කෙසේ නමුත් ඉන්ධන මිල ඉහළ යාම බස් කර්මාන්තය දැඩි ලෙස කඩා වැටීමට හේතුවක් වී ඇතැයිද පැවසූ ඒ මහතා ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධවද දැඩි ගැටලුවක් පවතින බවද පැවසීය.


ඒ අනුව ඉන්ධනවල ප්‍රමිතිය බරපතළ අර්බුදයකට පැමිණ ඇති බවත් මේ වන විට ඉන්ධන දහනය වැඩි වී ඇතැයි බස් රථ හිමියන් දිගින් දිගටම තමන් වෙත පැමිණිලි කරන බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.


මේ හේතුවෙන් ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳව රජය අවධානය යොමුකළ යුතු බවත් ඉන්ධන පරීක්ෂාවට මෙරට ඇත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව නමුත් එයින් ප්‍රතිපළ ලබා ගැනීම සාර්ථක නොවන බැවින් ඉදිරියේදී සිංගප්පූරුවෙන් මෙම ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳව පරීක්ෂා කරන ලෙස යෝජනා කරන බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

 

More News..