brand logo
logo
අ.පො.ස උසස් පෙළ විභාගය ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

අ.පො.ස උසස් පෙළ විභාගය ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

10 August 2026

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම වසර අවසන් වීමට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය ප්‍රකාශ කළාය.


අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ, පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සැප්තැම්බර් 03 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.


2026 උසස් පෙළ විභාගය අද (10) ආරම්භ වූ අතර, එය සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,532කදී පැවැත්වීමට නියමිතය.


මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814 දෙනෙකු ඇතුළුව සමස්ත අයදුම්කරුවන් 372,310 දෙනෙකු පෙනී සිටිති.


දිවයින පුරා විභාග කටයුතු අද උදෑසන 8.30ට නියමිත පරිදි ආරම්භ කළ බවත්, මේ දක්වා කිසිදු ගැටලුකාරී තත්ත්වයක් වාර්තා වී නොමැති බවත් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළාය.


සංශෝධනය කර ඇති විභාග කාලසටහන පිළිබඳව අවධානය යොමු කර, එහි සඳහන් පරිදි නියමිත දිනයේ සහ නියමිත වේලාවට විභාගයට පැමිණෙන ලෙසද ඇය අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියාය.


එමෙන්ම විභාග ශාලා තුළට ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, ඉලෙක්ට්‍රොනික උපකරණ, සටහන් ඇතුළු තහනම් ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසද විභාග කොමසාරිස් ජනරාල්වරිය දැනුම් දුන්නාය.


විභාග ශාලාව තුළ කතාබහ කිරීම, පිළිතුරු පත්‍ර හුවමාරු කර ගැනීම හෝ අනෙකුත් අපේක්ෂකයින්ට බාධා වන ආකාරයෙන් හැසිරීම වැනි විභාග අක්‍රමිකතාවල නිරත වන අයදුම්කරුවන්ට එරෙහිව ප්‍රතිඵල අත්හිටුවීම ඇතුළු දැඩි දඬුවම් ක්‍රියාත්මක කරන බවද ඇය පැවසුවාය.


විභාග කාර්ය මණ්ඩලය අතරින් ජංගම දුරකථන භාවිත කිරීමට අවසර ලබා දී ඇත්තේ විභාග ශාලාධිපතිවරුන්ට සහ අතිරේක සහකාර ශාලාධිපතිවරුන්ට පමණක් බවත්, විභාග රාජකාරි සඳහා සහභාගී වන කාර්ය මණ්ඩලයට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත් ඇය සඳහන් කළාය.


විභාග අක්‍රමිකතාවලට සම්බන්ධ වන ඕනෑම කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට විභාග පනතට අනුව දඬුවම් ලබාදීමට කටයුතු කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය අවධාරණය කළාය.


මේ අතර, මේ වන විට දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් ආපදා තත්ත්වයක් වාර්තා වී නොමැති බවත්, යම් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීම සඳහා අදාළ සියලු ආයතන සූදානමින් සිටින බවත් ඉන්දිකා කුමාරි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

 

More News..