ඉන්දියාවේ විදුලි බලාගාරයක් ඉදිකිරීමට මෙරට සමාගමකට කොන්ත්‍රාත්තුවක්
15 November 2026
ඉන්දියාවේ විදුලි බලාගාරයක් ඉදිකිරීමට මෙරට සමාගමකට කොන්ත්‍රාත්තුවක්
15 November 2026
ඉන්දියාවේ මෙගාවොට් 57ක විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 75ක කොන්ත්‍රාත්තුවක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ලක්දනවි සමාගම සමත්ව තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ කොන්ත්‍රාත්තුවේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 25ක් පමණ වන බවය.
ඉන්දියාවේ අන්දමන් දූපතේ පෝර්ට් බ්ලෙයාර්හි හෝප් ටවුන් ප්‍රදේශයේ මෙම විදුලි බලාගාරය ඉදිකිරීමට නියමිත අතර, ස්වාභාවික වායුව භාවිත කරමින් විදුලිය උත්පාදනය කිරීමට සැලසුම් කර ඇත.
ඉන්දීය රජයට අයත් National Thermal Power Corporation (NTPC) Limited සමාගමේ පූර්ණ අනුබද්ධ සමාගමක් වන NTPC Vidyut Vyapar Nigam Limited (NVVN) විසින් මෙම කොන්ත්‍රාත්තුව ප්රදානය කර තිබේ.
ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලියකින් අනතුරුව අවම මිල ඉදිරිපත් කළ ලංසුකරු ලෙස ලක්දනවි සමාගම තෝරාගෙන ඇත.
ඒ අනුව පසුගිය සැප්තැම්බර් 21 වැනිදා ඉන්දියාවේ නොයිඩාහි පිහිටි NTPC කාර්යාල සංකීර්ණයේදී අදාළ ගිවිසුමට අත්සන් තබා ඇති බවත් සඳහන් වේ.
මෙම විදුලි බලාගාරය ඉදිකිරීමේ ඉංජිනේරු කටයුතු ඇතුළු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම ලක්දනවි සමාගමේ ඉංජිනේරු කණ්ඩායම වෙත පැවරී ඇති අතර, විදුලි උත්පාදන උපකරණ සැපයීමට ෆින්ලන්තයේ Wärtsilä Corporation සමාගම එක්වීමට නියමිතය.
අදාළ ව්‍යාපෘතිය මඟින් අන්දමන් දූපතේ විදුලිබල යටිතල පහසුකම් ශක්තිමත් කිරීම, දිගුකාලීන බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමට සහාය වීම සහ එම කලාපයේ ආර්ථික සංවර්ධනයට පහසුකම් සැලසීම අපේක්ෂා කෙරේ.
මේ අතර, මෙම කොන්ත්‍රාත්තුව හිමිකර ගැනීමත් සමඟ ලක්දනවි සමාගම ඉන්දියාවේ විදුලි බලාගාර ඉංජිනේරු, ප්‍රසම්පාදන සහ ඉදිකිරීම් ක්ෂේත්රයට පළමු වරට පිවිසෙන බව ද සඳහන් වේ.
මෙම කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් LTL සමූහයේ කළමනාකාරීත්වය හමුවී ඇති බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, ඉන්දියාව වැනි විශාල හා තරගකාරී වෙළෙඳපොළක ප්‍රධාන යටිතල පහසුකම් කොන්ත්‍රාත්තුවක් ශ්‍රී ලාංකික සමාගමකට හිමිවීම පිළිබඳව රජයේ සතුට පළකර තිබේ.


