Best News Website award
brand logo
logo
පුද්ගලික සමාගම් තුනම දැන් ප්‍රමාණවත් ලෙස ඉන්ධන නිකුත්කරනවා

පුද්ගලික සමාගම් තුනම දැන් ප්‍රමාණවත් ලෙස ඉන්ධන නිකුත්කරනවා

19 November 2026 | අශිකා ජයවීර


පුද්ගලික ඉන්ධන සමාගම් තුනම මේ වන විට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නිකුත් කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කළේය.


ප්‍රමාණවත් පරිදි ඉන්ධන නිකුත් කරන ලෙස ඉල්ලා පැවැත්වූ විරෝධතාවයෙන් පසුව මෙලෙස ඉන්ධන නිකුත් කිරීම ක්‍රමවත් කිරීමට පුද්ගලික ඉන්ධන සමාගම් කටයුතු කර තිබෙන බවද එම සංගමය පෙන්වා දුන්නේය.


මෙම ගැටලුව සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය සහ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය දැනුවත් කර බවත්, එම ආයතනවලින් ලැබුණු සහයෝගය ද තම ඉල්ලීම් ඉටු කරගැනීම සඳහා බලපෑ බවත් බෙදුම්කරුවෝ කියා සිටියහ.


ඒ අනුව සියලුම පුද්ගලික ඉන්ධන පිරවුම්හල්වලින් මේ වනවිට සුපුරුදු පරිදි ඉන්ධන නිකුත් කිරීම සිදුවන අතර ඉන්ධන සම්බන්ධයෙන් පැවැති බොහෝ ගැටලු මේ වන විට සමථයකට පත්කරගෙන ඇති බව ද ඔවුහු පැවැසූහ.


මේ අතර ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය නොවැම්බර් 10 වැනිදා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පවත්වමින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.


පෞද්ගලික සමාගම්වලට අයත් ඉන්ධන පිරවුම්හල් සඳහා නිසි පරිදි ඉන්ධන නොලැබීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවද ඔවුහු එහිදී අවධාරණය කළහ.


මාසයකටත් වැඩි කාලයක් තිස්සේ ඉන්ධන නිකුත් කිරීම සිමා කිරීමට පුද්ගලික සමාගම් කටයුතු කර තිබූ අතර එම කාලය තුළ වැඩි වශයෙන් ඉන්ධන නිකුත් කෙරුණේ ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වලිනි.

 

More News..