උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර මිල ගැන ව්‍යාපාරිකයින්ගෙන් පැහැදිලි කිරීමක්
28 November 2026
උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර මිල ගැන ව්‍යාපාරිකයින්ගෙන් පැහැදිලි කිරීමක්
28 November 2026
එළඹෙන උත්සව සමය තුළ කුකුළු මස් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යාමක් සිදු නොවනු ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පෙන්වා දෙන්නේ, මේ වන විට වෙළඳපොළ තුළ කුකුළු මස් අතිරික්තයක් පැවතීම හේතුවෙන් මිල ගණන් පහළ ගොස් ඇති බවයි.
රටේ පවතින කුකුළු මස් ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් නිෂ්පාදනයක් පවතින බැවින් වෙළඳපොළට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් සැපයීමේ හැකියාව පවතින බවද ඔහු සඳහන් කළේය.
දෙසැම්බර් මාසයේ උත්සව සමයත් සමඟ කුකුළු මස් සඳහා ඇති ඉල්ලුම ඉහළ යා හැකි නමුත්, එම ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණවත් ශීත කළ කුකුළු මස් තොග පවතින බැවින් මිලෙහි විශාල ඉහළ යාමක් අපේක්ෂා නොකරන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර, වෙළඳපොළේ බිත්තර මිල ඉහළ යාම පිළිබඳව අදහස් දක්වමින් අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, බිත්තර සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ නිෂ්පාදනය අඩුවීම මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි.
සත්ත්ව ආහාර නිෂ්පාදනයට යොදා ගන්නා බඩඉරිඟු හිඟවීම හේතුවෙන් ඒ වෙනුවට සහල් භාවිත කිරීමට සිදුවීමෙන් බිත්තර නිෂ්පාදනය යම් මට්ටමකින් පහත වැටී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
මීට අමතරව, කුකුළු ගොවිපළ ආශ්‍රිතව වෛරස් රෝග කිහිපයක් පැතිර යාම සහ නොවැම්බර් මාසයේ පැවැති වැසි සහිත කාලගුණික තත්ත්වයද බිත්තර නිෂ්පාදනය අඩුවීමට බලපා ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ වන විට වෙළඳපොළේ එක් බිත්තරයක් රුපියල් 39ත් 40ත් අතර මිලකට අලෙවි වන බවයි.
ඉදිරියේදී බිත්තර මිල තීරණය වීම වෙළඳපොළේ පවතින ඉල්ලුම සහ සැපයුම මත රඳා පවතින බවත්, කෙටි කාලයක් තුළ බිත්තර නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීම අපහසු බවත් ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම, සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයකින් තොරව ලබාදීමට රජය මැදිහත් විය යුතු බවටද සංගමය ඉල්ලීමක් කර ඇති බව අජිත් ගුණසේකර මහතා සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබාගැනීමට අපේක්ෂා කරන බවත්, ඉදිරියේදී බිත්තර මිලෙහි සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව නිශ්චිත අනාවැකියක් පළ කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා,
''උත්සව සමයේ මම හිතන්නේ කුකුල් මස් මිල විශාල වශයෙන් වැඩිවීමක් වෙන්නේ නෑ. රටේ ඉල්ලුමට අවශ්‍ය ප්‍රමාණය කුකුල් මස් තියෙනවා. නමුත් දෙසැම්බර් මාසයේ වැඩි ඉල්ලුමක් එනවා. මම හිතන්නේ ඒ වෙනකොටත් අපේ ශීත කළ කුකුල් මස් තියෙනවා. ඒ නිසා මිල විශාල වශයෙන් වැඩිවීමක් වෙන්නේ නෑ...
බිත්තරවල විශාල ඉල්ලුමක් ආවා. බිත්තර නිෂ්පාදනය අඩාල වුණා. මොකද බඩ ඉරිඟු හිඟවීම නිසා ඒ වෙනුවට හාල් දැම්මේ. හාල් දැම්මම පොඩ්ඩක් නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි වෛරස් රෝග වගයක් හැදිලා තියෙනවා. ඒකෙනුත් නිෂ්පාදනය අඩු වුණා. සාමාන්‍යයෙන් නොවැම්බර් මාසේ අව්ව නැති කාලයක්, වැහි කාලයක් නිසා එතනත් බිත්තර අඩු වුණා.
දැනටත් රුපියල් තිස් නවය, හතළිහට දෙනවා බිත්තරයක්. වෙළඳපොලේ ඉල්ලුම අනුව තමයි මිල තීරණය වෙන්නේ. කොහොමත් ඉදිරියේදී නිෂ්පාදනය වැඩි කරගන්න බෑ. මොකද සාමාන්‍යයෙන් බිත්තර නිෂ්පාදනය වැඩි කරන්න ටිකක් අමාරුයි. ඉතින් අපි ඉල්ලුවා රජයට මින් ඉදිරියටත් සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා දෙන්න කියන එක. ඉතින් වෙළඳ ඇමතිතුමා සාකච්ඡා කරලා විසඳුමක් දේවි. බිත්තර කර්මාන්තය ගැන නම් අපිට තාමත් හරියට කියන්න බෑ, මොකද ඉල්ලුම හා සැපයුම තමයි මිල තීරණය වෙන්නේ...''


