brand logo
logo
දුෂ්කර ඉස්කෝලෙක ටීචර් කෙනෙක් වුණා

දුෂ්කර ඉස්කෝලෙක ටීචර් කෙනෙක් වුණා

15 July 2026


නාඩගම්කාරයො ටෙලි නාට්‍යයේ ගීතානි මිස්ගේ චරිතයෙන් රංගන ක්ෂේත්‍රයට පිවිසුණ නිපුනි පූජිත ගුණවර්ධන මේ දවස්වල විකාශය වන ගේට්ටුවා ටෙලි නාට්‍යයේ හිමාෂි ටීචර්ගේ චරිතයෙන් ආපහු ප්‍රේක්ෂකයො අතරට ඇවිත් ඉන්නවා.


නිපුනි කාලෙකට පස්සෙ ආපහු පුංචි තිරයට ඇවිත් නේද?


ඔව්. නාඩගම්කාරයො ටෙලිනාට්‍යයෙන් පුංචි තිරයේ රංගනය පටන් අරන් සර්කස්කාරයො, දෑස මත මොහොතක් ටෙලි නාට්‍යවලින් පස්සෙ දැන් මම ගේට්ටුවා ටෙලි නාට්‍යයෙන් රසිකයො අතරට ඇවිත් ඉන්නවා.


ගේට්ටුවා ⁣මොනවිදිහෙ රංගන අත්දැකීමක්ද?


මම රංගනයෙන් දායකවුණ හැම නිර්මාණයක්ම මට විශේෂයි. රඟපාපු හැම නිර්මාණයකින්ම මගේ රංගන හැකියාව ප්‍රේක්ෂකයන්ට පෙන්නන්න පුළුවන් වුණා. ඒ අතරේ ගේට්ටුවා කියන්නෙත් මගේ රංගන හැකියාව වෙනස් විදිහට ප්‍රේක්ෂකයො ඉදිරියට ගෙනියන්න පුළුවන් වුණ ටෙලි නිර්මාණයක්. දුෂ්කර ගමක හරිහමන් ඉගෙනීමක් නැතුව අතරමං වෙලා ඉන්න දරුවො ඇතුළු ග්‍රාමීය ජනජීවිතයේ අඳුරු පැතිකඩ ගැන කියන ගේට්ටුවා ටෙලි නාට්‍යයේ හිමාෂි ටීචර්ගේ චරිතය තුළින් ප්‍රේක්ෂකයො අතරට එන්න ලැබීම මගේ රංගන ජීවිතයේ සුන්දර අත්දැකීමක්.


නිපුනිගේ පාසල් කාලෙ ගෙවුණෙ කොහොමද?


මගේ උපන් ගම අම්පාර. මම අම්පාරෙ ඉපදිලා හැදිලා වැඩිලා ගමේ ඉස්කෝලෙට ඉගෙන ගන්න ගියෙ. ඉස්කෝලේ පහේ පන්තියෙ ඉන්⁣නකොටයි අපි ගම දාලා කොළඹ පදිංචියට ආවේ. මට නම් ⁣ගමේදි ඉගෙනගන්න දුක් විඳින්න ඕන වුණේ නැහැ⁣. පහසුකම් තියන පරිසරයකයි මම හැදුනෙ වැඩුනෙ. කොළඹ ජීවත් වුණාට අදටත් මම ගමේ ජීවිතයට ආදරෙයි. ඉගෙනීමේ වටිනාකම දන්න නිසා හරිහමන් අධ්‍යාපනයක් ලැබෙන්නෙ නැති දරුවො දකිනකොට මට ගොඩක් දුකයි.


දරුවන්ගේ අනාගතය හදන්න උත්සාහ කරන ගුරුවරියකගේ චරිතයක් රඟපාන්න ලැබීම ගැන මොකද හිතන්නෙ?


අපි ඉන්නෙ 2026 වසරේ ඩිජිටල් යුගයක වුණාට ලංකාවෙ සමහර ප්‍රදේශවල අඩු පහසුකම් යටතේ හරිහමන් අධ්‍යාපනයක් ලැබෙන්නෙ නැති සහ අගහිඟකම් මත පාසලට නොයෙන දූ දරුවො තවමත් ඉන්නවා. ඒ විදිහෙ දූ දරුවන්ගේ අධ්‍යාපනය නගාසිටුවන්න වෙහෙස මහන්සි වෙන ගුරුවරුත් ඉන්නවා. ඉතින් අපේ රටේ තියන ඛේදජනක පැතිකඩක් පෙන්නලා දෙන ගෙට්ටුවා හරහා දූ දරුවන්ගේ අධ්‍යාපනය නගා සි⁣ටුවන්න හදන ගුරිවරියකගේ චරිතයක් රඟපාන්න ලැබීම ගැන මම සතුටු වෙනවා.


හර්ෂ එක්ක ගේට්ටුවා ටෙලි නාට්‍යයේ රඟපාන අත්දැකීම කොහොමද?


හර්ෂ තෙන්නකෝන් කියන්නෙ ලංකාවෙ ඉන්න දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. හර්ෂ අයියා එක්ක රඟපාන්න මම කාලෙක ඉඳලා කැමැත්තෙන් හිටියෙ. ඉතින් ගේට්ටුවා හරහා ඒ බලාපොරොත්තුව ඉටුවීම ගැන මම සතුටු වෙනවා.


රසිකයෝ තවමත් නිපුනිව හඳුන්වන්නෙ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ගීතානි මිස් කියලා නේද?


ඔව්. නාඩගම්කාරයො ටෙලි නාට්‍යයේ ගීතානි මිස් මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්.මේ වෙද්දි නාඩගම්කාරයො අවසාන වෙලා අවුරුදු තුනකට වඩා වැඩියි. හැබැයි අදටත් මම මොන විදිහෙ නිර්මාණයක රඟපෑවත් රසිකයො මට කතා කරන්නෙ නාඩගම්කාරයො එකේ ගීතානි මිස් එහෙම නැත්තන් සංවර්ධන මිස් කියලා. අවුරුදු තුනකට පස්සෙත් මම රඟපාපු ගීතානි මිස්ගේ චරිතය රසිකයොන්ට මතකයි කියන්නෙ මම ගීතානි මිස්ගේ චරිතයට සාධාරණයක් කරලා තියනවා කියලයි මට හිතෙන්නෙ.


අහිසංක චරිත විතරද රඟපාන්නෙ?


ගොඩක් වෙලාවට මට ආරාධනා ලැබෙන්නෙ අහිංසක තැන්පත් චරිතවලට. අහිංසක චරිතවලට විතරක් කොටුවෙන්නෙ නැතුව විවිධ චරිත රඟපාන චරිතාංග නිළියක් විදිහට ඉදිරියට යන්නයි මගේ බලාපොරොත්තුව. වේදිකා නාට්‍යවල සහ සිනමාවෙදි අහිසංක චරිතවලින් එහාට ගිය වෙනස් චරිත මම රඟපාලා තියනවා. ඉදිරියෙදි විකාශය වෙන්න තියන ටෙලි නාට්‍යවලිනුත් අහිසංක චරිතයෙන් මිදුනු වෙනස් කෙනෙකු විදිහ⁣ට මාව රසිකයන්ට දකින්න පුළුවන්.


නිපුනි නිර්මාණවලින් දකින්න ලැබෙන්නෙ කඩින් කඩ. නිර්මාණකරුවො තවමත් හරිහැටි නිපුනිගේ රංගන හැකියාව අඳුරගෙන නැද්ද?


නිර්මාණකරුවො මගේ රංගන හැකියාව අඳුරගෙන නැද්ද කියලා නම් මම දන්නෙ නැහැ⁣. ලැබෙන හැම රංගන ආරාධනාවක්ම මම භාරගන්නෙ නැහැ⁣. නිර්මාණයේ ප්‍රමිතිය ඇතුළු ගුණාත්මක තත්ත්වය ගැන සැලකිලිමත්වෙලා ඒවා නිසි පරිදි තියනවා නම් විතරයි මම නිර්මාණ භාරගන්නෙ. ප්‍රේක්ෂකයන්ට මාව වැඩිය දකින්න නොලැබෙන්න සමහරවිට ඒ හේතුවත් බලපානවා ඇති. කොහොම වුණත් ළඟදිම ප්‍රේක්ෂකයන්ට මාව පුංචි තිරයේ තවත් ටෙලි නිර්මාණයකින් සහ රිදී තිරයේ චිත්‍රපටයකින් නරඹන්න පුළුවන්.


ආකර්ෂණීය තරුණියක් විදිහට සරාගීකම ගැන අදහස මොකක්ද?


කාන්තාවගේ පෞර්ෂත්වය ආලෝකමත් කරන දෙයක් විදිහ⁣ට සරාගීකම හඳුන්වන්න පුළුවන්. හැබැයි මම සරාගීකම කියලා විශ්වාස කරන්නෙ තමන්ට ගැන තියන ආත්ම විශ්වාසය, සමාජය ඉදිරියේ තමන්ව ඉදිරිපත් කරන ආකාරය, අනිත් අය එක්ක කතාබහ කරන, හැසිරෙන ආකාරය ඇතුළු සමස්ත පෞර්ෂයට. ඒ විදිහෙ දියුණු පෞර්ෂයක් පවත්වගෙන යාම තුළින් ආකර්ෂණීය බව ඇතිවෙන්න පුළුවන්.


විලාසිතා මගින් පෞර්ෂත්වයට වටිනාකමක් එකතු කරනවා. Short ඇඳුම් ගැන නිපුනිගේ අදහස මොකක්ද?


විලාසිතා කරන්න ඕනෙ පෞර්ෂත්වයේ දියුණුව පේන්න මිසක පෞරුෂත්වයට හානි වෙන විදිහට නෙමෙයි කියලයි මම විශ්වාස කරන්නෙ. ඉතින් මම අවස්ථානුකූලව කොට ඇඳුම් අඳිනවා. හැබැයි මගේ ප්‍රතිරූපයට හානිවෙන්නෙ නැති සීමාවක් ඇතුලෙ ඉඳන්. පෞරුෂත්වයට ගැළපෙන සහ හානිවෙන විලාසිතා ගැන මට අවබෝධයක් තියනවා. ඉතින් අවබෝධයක් ඇතුව තෝරාබේරාගෙන කරන විලාසිතා හරහා පෞරුෂත්වයට ආලෝකයක් එකතු වෙනකොට මට මං ගැනම සතුටක් සහ ආත්ම විශ්වාසයක් ඇතිවෙනවා.


 

More News..