brand logo
logo
බන්ධනාගාරවල තදබදයට ප්‍රධානම හේතුව පොලිසියේ අනීතික ක්‍රියාවන්

බන්ධනාගාරවල තදබදයට ප්‍රධානම හේතුව පොලිසියේ අනීතික ක්‍රියාවන්

10 July 2026 | සටහන - නිරෝෂා වාසල

පසුගිය පස්වැනිදා සහ හයවැනිදා දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් රැඳවියන්ට මෙන්ම බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනකුටද ජීවිත අහිමි විය. එම සිදුවීමත් සමග සිරකරුවන්ගේ අයිතිවාසිකම් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත ආරක්‍ෂාව සම්බන්ධයෙන් වන කතාබහ යළිත් කරළියට පැමිණ තිබේ. ඒ ගැන මෙන්ම ඊට අදාළ තවත් කාරණා කිහිපයක් පිළිබඳව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා සමග "අරුණ" කළ සාකච්ඡාවකි මේ.


පසුගිය දිනවල මීගමුව බන්ධනාගාරයේ වූ සිදුවීම ඔබ දකින්නේ කොහොමද?


පසුගිය පස්වෙනිදා මීගමුව බන්ධනාගාරය තුළ පිරිසක් අතර ඇතිවූ ගැටුම පාලනය කරගැනීම සඳහා අදාළ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වීමයි කළ යුතුව තිබුණේ. ඉහළ බලධාරීන්ගෙන් ඒ සම්බන්ධයෙන් නියෝග නොමැතිවීම සහ බන්ධනාගාර නිලධාරීන්ට අදාළ පාලන කටයුතු පිළිබඳ අත්දැකීම් අඩුවීම යන හේතු නිසා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී යම් යම් අඩුපාඩු වෙලා තිබුණා කියලා මට හිතෙනවා. ඒ නිසා හයවෙනිදා වන විට ඒ ගැටුම උත්සන්න වෙලා. කලහකාරී පිරිසක් අතරට යන විට යා යුතු ආකාරයක් මෙන්ම එවැනි වෙලාවක අනුගමනය කළ යුතු ක්‍රමවේද ගණනාවක් තියෙනවා. රැඳවියන් අතර යම්කිසි ගැටුමක් ඇති වූ වෙලාවක බන්ධනාගාර නිලධාරීනුත් වෛරී ආකාරයෙන් කටයුතු කළොත් අර ගැටුම ඇතිකරගත් රැඳවියන් නිලධාරීන්ටත් හිංසා පීඩා කරන්න පටන් ගන්නවා. ඒ නිසා බන්ධනාගාර තුළ රැඳවියන්ගේ ගැටුමක් ඇතිවුණාම ක්‍රමානුකූලව එය හසුරුවා ගැනීමයි වැදගත් වෙන්නේ. එහෙම නොකළොත් අවසානයේ දරුණු ලෙස හැසිරෙන්නේ නැති රැඳවියන් පවා කලහකාරීව හැසිරෙන පිරිසට එකතුවෙලා ගැටුමේ කොටස්කරුවන් වෙනවා. මීගමුව බන්ධනාගාරය තුළ වුණෙත් එවැන්නක් කියලා මට හිතෙනවා.


අනෙක බන්ධනාගාර තුළ කිසිදු වරදක් නොකළ පිරිසකුත් රැඳවියන් විදිහට ඉන්නවා. එකම බන්ධනාගාරයක් තුළ දඬුවම් විඳින සිරකරුවන් වගේම රිමාන්ඩ්ගතව සිටින සිරකරුවන් මිශ්‍රවීමට ඉඩ හැර තිබීමත් භයානක තත්ත්වයක්. කොහොම වුණත් කිසිම වරදක් නොමැතිව තමන්ව බන්ධනාගාරගත කිරීම පිළිබඳව සමහර රැඳවියන් ලොකු වෛරයකින් සහ කනස්සල්ලකින් ඉන්නේ. මීගමුව බන්ධනාගාරය තුළ වුණේ ඒ සියල්ලම පුපුරා යාම නිසා ඇති වූ ගැටුමක් කියලත් කියන්න පුළුවන්. මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වන නිසා අපට තවමත් අවසාන නිගමනයකට එළඹෙන්න පුළුවන්කමක් නැහැ.


මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන සෙවීම සඳහාත් මේ වන විට කමිටුවක් පත් කරලා තියෙනවානේ?


මීගමුව බන්ධනාගාරයේ සිදුවීමෙන් පසුව වර්තමාන අධිකරණ අමාත්‍යවරයා ක්ෂණිකව ඒ පිළිබඳ අවශ්‍ය කටයුතු කරන්න තුන්දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කළා. ඒ විදිහට කමිටුවක් පත්කිරීමේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මින් පෙරත් මෙවැනි සිදුවීම්වලදී කමිටු පත් කරලා තියෙනවා. යම් සිදුවීමක් වූ අවස්ථාවක කමිටුවක් පත් කරලා ඒ ගැන සෙවීම පමණක්ම නොවෙයි කළ යුතුව තියෙන්නේ. ඒ කමිටුවලින් දෙන කරුණුවලට අනුගතව ක්‍රියා කිරීමත් වැදගත්. මොනවා හරි සිදුවීමක් වුණාම ඒ ගැන හොයන්න කමිටුවක් පත් කරනවා. ඒත් පාලකයන් හෝ බන්ධනාගාර පද්ධතියේ නිලධාරීන් මාරු වූ සැණින් අර කමිටුවලින් දෙන වාර්තා පසෙකට දානවා. ඒක අපේ රටේ සාමාන්‍යයෙන් වෙන දෙයක්. මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම වගේ ගැටුම් අපි මීට පෙරත් අත්දැකලා තියෙනවා. උදාහරණයක් හැටියට 2020 මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙක් පමණ මියගියා. ඒ අවස්ථාවේ අධිකරණ අමාත්‍යවරයා වශයෙන් සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහත්මයා ඒ සඳහා කමිටුවක් පත් කරලා ඒ සම්බන්ධයෙන් අදාළ කටයුතු කළා. ඒත් ඒ කමිටුව දුන් නිර්දේශ අනුව ක්‍රියා කළාද කියන එක ගැටලුවක්. වැදගත් වෙන්නේ ඔය පත්කරන කමිටුවලින් දෙන නිර්දේශ වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම මිස ඒවා ක්‍රියාත්මක කිරීම දිනෙන් දින කල් දැමීම නොවෙයි. සමහර වෙලාවට පාලකයන් මාරු වුණාම තමන්ට පෙර සිටි පාලකයන්ගේ වැරදි කියමින් ඉන්නවා මිස අදාළ තීන්දු තීරණ අරගෙන කටයුතු කරන්නේ නැහැ. ඒක ලොකු අඩුවක්.


බන්ධනාගාරවල නිසි ධාරිතාව ඉක්ම වූ රැඳවියන් සංඛ්‍යාවක් සිටින නිසා පොඩි ප්‍රශ්නයක් වුණත් විශාල ගැටුමක් දක්වා වර්ධනය වෙන්න ඉඩ තියෙනවා කියලා සමහරු කියනවා. ඔබත් ඒ කතාවට එකඟද?


ඇත්තටම මීගමුව බන්ධනාගාරය තුළ රඳවන්න පුළුවන්කම තියෙන්නේ 900ක ප්‍රමාණයක් පමණයි. ඒත් ඒ බන්ධනාගාරය තුළ 2400 ඉක්මවා ගිය පිරිසක් රැඳවියන් හැටියට සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. මීගමුව බන්ධනාගාරය තුළ පමණක් නොවෙයි දිවයිනේ සියලුම බන්ධනාගාර තුළ මේ වන විට රැඳවියන්ගේ ධාරිතාව අදාළ ප්‍රමාණය ඉක්මවා ගිහින්. සිටිය යුතු ප්‍රමාණයට වඩා තුන් ගුණයකට ආසන්න රැඳවියන් පිරිසක් දැන් බන්ධනාගාර පද්ධතිය තුළ ඉන්නවා. ඒ නිසා ඇත්තටම බන්ධනාගාර තුළ විශාල ගැටලු ඇතිවෙලා තියෙනවා. කුඩා සිදුවීමක් වුණත් විශාල ගැටුමක් දක්වා වර්ධනය වෙන්න මේ බන්ධනාගාර තුළ තිබෙන තදබදයත් එක හේතුවක් වෙන්න පුළුවන්.


බන්ධනාගාර තුළ තිබෙන තදබදය නැති කිරීම සඳහා අලුතෙන් බන්ධනාගාර ඉදි කළ යුතුයි කියලත් සමහරු යෝජනා කරනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?


මේ ප්‍රශ්නවල උඩින් පැලැස්තර ගැහුවා කියලා කිසිම තේරුමක් නැහැ. බන්ධනාගාර පද්ධතිය තුළ තියෙන ගැටලුවලට විසඳුම් දෙන්නේ නැතිව තවත් අලුතින් බන්ධනාගාර හැදුවා කියලා කිසිම ප්‍රශ්නයකට විසඳුම් ලැබෙන්නේ නැහැ. රටක අලුතින් බන්ධනාගාර හැදෙනවා කියන්නේ එතරම් සුබදායී දෙයක් නොවෙයි. බන්ධනාගාරවල තදබදය නැති කිරීමට කළ යුතුව තියෙන්නේ තවත් අලුතින් බන්ධනාගාර ඉදිකිරීම නොවෙයි. දැනට පවතින බන්ධනාගාරවල ධාරිතාව ඉක්මවා නොයන පරිදි රැඳවියන් තබා ගැනීමයි වැදගත් වෙන්නේ.


මේ වන විටත් බන්ධනාගාර තුළ නියමිත ධාරිතාවට වඩා තුන් ගුණයක පමණ රැඳවියන් පිරිසක් සිටින බව කියැවෙනවා. ඔබ ඔය කියන විදියට බන්ධනාගාර සියල්ල තුළ නියමිත රැඳවියන් පිරිසක් පමණක් තබා ගත්තොත් ඉතුරු රැඳවියන්ට මොකද වෙන්නේ?


මීගමුව බන්ධනාගාරයේ සිටින රැඳවියන්ගෙන් සියයට අනූවක්ම බන්ධනාගාර ගතවෙලා තියෙන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ සිදුවීම් නිසයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් වගේම කුඩා ප්‍රමාණයෙන් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පිරිසකුත් ඒ අතර ඉන්නවා. සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නවා නම් ඒ අවස්ථාවේ ඒ පුද්ගලයා සතුව තිබෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වෙනවා. අද වන විට බොහෝ පොලිස් නිලධාරීන් ඇතැම් පුද්ගලයන් ළඟ තිබුණාටත් වඩා වැඩි ප්‍රමාණවලින් මත්ද්‍රව්‍ය තිබුණා කියලා මහෙස්ත්‍රාත්තුමන්ලාට බොරු තොරතුරු ඉදිරිපත් කරලා අර පුද්ගලයන්ව බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරනවා. එතකොට බන්ධනාගාරවල රැඳවියන් පිරෙනවා. අනෙක ඇබ්බැහිවුවන් බන්ධනාගාර ගතකරන්න එපා කියලා තියෙන්නේ. ඔවුන් පුනරුත්ථාපනය කිරීම සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වගේම ඒ සඳහා ප්‍රතිපාදනත් තියෙනවා. එවැනි පුද්ගලයන්ව බන්ධනාගාරගත කරන්නේ නැතිව වෛද්‍යවරයෙක් හරහා අදාළ පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් වාර්තාවක් අරගෙන වහාම පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කරන්න අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට හැකියාව තියෙනවා. සමහර වෙලාවට ඒ පුද්ගලයන්ගේ වෛද්‍ය වාර්තා ගැනීමට කෙළින්ම වෛද්‍යවරයෙක් වෙත පුද්ගලයාව යොමු නොකර බන්ධනාගාරය හරහා ඒ කටයුතු කරන්න කියලා පොලිස් නිලධාරීන් මහෙස්ත්‍රාත්තුමන්ලාට කියනවා. ඒත් එහෙම කරන්න කියලා කොහෙවත් සඳහනක් නෑ. මෙවැනි දේවල්වලට අනිවාර්යෙන්ම පොලිසියෙන් වගකිව යුතුමයි. ඇත්තටම දැන් බන්ධනාගාරවල රැඳවියන් පිරෙන්න ප්‍රධානම හේතුව අනීතික පොලිස් නිලධාරීන් පිරිසකගේ ක්‍රියා කලාපයමයි. වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය තිබුණා කියලා බොරු කියලා සමහර පුද්ගලයන් වාර්තා එනකම් බන්ධනාගාර තුළ රඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නේ ඒ අනීතිකව හැසිරෙන පොලිස් නිලධාරීන්මයි. සමහර වෙලාවට අත්අඩංගුවට ගැනීම සඳහා පුද්ගලයෙක් සතුව මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහයක් තිබිය යුතුයි නම් මේ පොලිස් නිලධාරීන් දහයයි ග්‍රෑම් දහයයි දෙසිය පනහක ප්‍රමාණයක් තිබුණා කියලා දාලා හරි ඒ පුද්ගලයාව අත්අඩංගුවට ගන්නවා. ඒත් සමහර වෙලාවට ඒ අත්අඩංගුවට පත් වූ පුද්ගලයා ළඟ මත්ද්‍රව්‍ය තිබිලත් නෑ. මේවාට ඇතැම් පොලිස් නිලධාරීන් වගකිව යුතුමයි. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටින පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ.


අනෙක සමහර වෙලාවට මහෙස්ත්‍රාත්තුමන්ලා අධික ඇප නියම කරනවා. මුදල් ඇප තැබීමෙන් පුළුවන් තරම් වැළකිලා ශරීර ඇප තැබීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා පහුගිය දවස්වල මහෙස්ත්‍රාත්තුමන්ලාට චක්‍රලේඛයකුත් නිකුත් කරලා තිබුණා. ඒත් ඒ පිළිබඳව අවධානයක් යොමු නොකිරීම නිසාත් බොහෝ දෙනෙක් නිරපරාදේ බන්ධනාගාර ගත වෙනවා. සහතික ඇප තැබීමේදීත් විශාල ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේ හේතු නිසාත් බන්ධනාගාර පිරිලා ඉතිරිලා යනවා.


බන්ධනාගාරවල ධාරිතාව ඉක්මවා යාම වැළැක්වීම සඳහා බොහෝ දේවල් කළ හැකිව තියෙනවා. ඇතැම් පුද්ගලයන් බන්ධනාගාර තුළ රඳවන්නේ නැතුව විදේශ ගමන් තහනම් කිරීම් ආදී සීමා පනවලා ඒ පුද්ගලයන් රටින් සහ අදාළ ප්‍රදේශයෙන් බැහැරවීම වළක්වමිනුත් යම් යම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. කෙටි කාලීන සිරදඬුවම් ලබන සිරකරුවන් සඳහා නිවාස අඩස්සිය වැනි විකල්ප දඬුවම් ක්‍රම ක්‍රියාත්මක කිරීමෙනුත් බන්ධනාගාර තුළ තිබෙන තදබදය අඩු කරගන්න පුළුවන්. අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය පිහිටා තිබෙන ස්ථානය තුළත් ලොකු ඉඩ කඩක් තියෙනවා. ඒ ස්ථානයේ රැඳවියන් සඳහා තවත් සිර මැදිරි හදන්න පුළුවන්කම තියෙනවා. හොරණ ප්‍රදේශයේත් එවැනි ඉදිකිරීමක් සම්බන්ධයෙන් කතාවක් ඇතිවෙලා තිබුණා. ඒත් ඒවා ක්‍රියාත්මක නොවීමයි ගැටලුව.


ඒ වගේම පොලිස් නිලධාරියෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පමණින් පුද්ගලයෙක් බන්ධනාගාර ගතකිරීම නොකළ යුතුයි. ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් කිරීම වැදගත්. වරදක් නොකළ පුද්ගලයෙක් බන්ධනාගාරගත වුණාම ඔහු බන්ධනාගාරය තුළින් එළියට එන්නේ වරදකරුවෙක් හැටියට වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එවැනි පුද්ගලයන් බන්ධනාගාරයේ සිටින සැබෑම වරදකරුවන්ගේ අතකොළු බවට පත්වන අවස්ථාත් තියෙනවා. මෙවැනි පුද්ගලයන් බන්ධනාගාරගතකිරීම මගින් සමාජයට කිසිම යහපතක් වෙන්නේ නෑ කියලා මම නිතරම කියන්නේ ඒකයි. බන්ධනාගාර කියන්නේ අපරාධ නොකළ පුද්ගලයන්ටත් අපරාධ ගැන ඉගෙන ගන්න තියෙන විශ්වවිද්‍යාලයක්.


මීගමුව බන්ධනාගාරයේ වූ ගැටුමේදී බන්ධනාගාර නිලධාරීන් රැඳවියන්ට අමානුෂික ලෙස වෙඩි තියලා කියලත් චෝදනාවක් තියෙනවා නේද?


මෙවැනි ගැටුමකදී බන්ධනාගාර නිලධාරීන් හත් දෙනෙක් මියයාම ඉතාම කනගාටුදායකයි. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කරලා වරදකරුවන්ට දඬුවම් පැමිණවීම සහ අදාළ නිලධාරීන් වෙනුවෙන් වන්දි මුදල්දීම ආදී කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි. එවැනි දේවල් කළා කියලා ඒ නිලධාරීන්ට වූ ජීවිත හානිය සාධාරණීකරණය කරන්න පුළුවන්කමක් නැහැ. මොන හේතුවක් නිසා හෝ ඒ විදිහට බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත උදුරා ගැනීම අපි කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. කොහොම වුණත් ඔබ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙනවානම් එක් පොලිස් නිලධාරියෙක් බන්ධනාගාරයේ ලී දොරේ කවුළුවකින් බන්ධනාගාරය තුළ සිටින රැඳවියන්ට වෙඩි තැබීමේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. ඒ සම්බන්ධයෙන් අපේ රට වගේම ජාත්‍යන්තරය පවා අවධානයකින් ඉන්න බව පේනවා. කිසිදු වග විභාගයකින් තොරව කවුළුවකින් අර විදිහට වෙඩි තැබීම මම නම් කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මෙවැනි දේවල්වලින් අපේ රටටමයි විශාල කැලලක් ඇතිවෙන්නේ. රටක රජය වගකිව යුතු හා ආරක්ෂිතව සිටිය යුතු පිරිසකට අත්තනෝමතිකව වෙඩි තැබීම අපි නම් කිසිසේත්ම අනුමත කරන්නේ හෝ සාධාරණීකරණය කරන්නේ නැහැ. ඒකෙන් රජයේ ප්‍රතිරූපයටත් හානියක් වෙනවා. ඒ නිසා ඒ අදාළ නිලධාරියා සහ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරලා කඩිනමින් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ඉතාමත් වැදගත්.


බන්ධනාගාරය තුළ විශාල ගැටුමක් ඇතිවෙලා තියෙද්දි ඒ තත්ත්වය සමනය කිරීම සඳහා ආත්මාරක්ෂාවේ අයිතිය පාවිච්චි කිරීම වරදක් කියලද ඔබ කියන්නේ?


ආත්මාරක්ෂාවේ අයිතිය පාවිච්චි කිරීමේ කිසිම වරදක් නැහැ. නමුත් ඒ විදිහට ආත්මාරක්ෂාවේ අයිතිය පාවිච්චි කිරීමෙන් තවත් පිරිසකගේ ජීවිතවලට හානි වෙනවා නම් එතැන ප්‍රශ්නයක් තියෙනවා. මෙවැනි අවස්ථාවක දණහිසෙන් පහළට වෙඩි තැබීම ආදී දේවල් කරන්න පුළුවන්. මම මෙහෙම කියද්දි ගැටුමක් පවතින වෙලාවක දණහිසෙන් පහළට වෙඩි තියන්න පුළුවන්ද කියලා කාට හරි හිතෙන්න ඉඩ තියෙනවා. කොහොම වුණත් රැඳවියකුගේ හිසට වෙඩි තැබීමේ අයිතියක් කාටවත් නෑ. එවැනි අවශ්‍යතාවකුත් නෑ. ඒ වගේ වෙලාවක රබර් උණ්ඩ පාවිච්චි කිරීම හෝ රැඳවියන්ගේ ජීවිතයට හානියක් නොවන අන්දමින් සිහි නැතිවෙන ක්‍රමවේදයක් හෝ අනුගමනය කිරීම කරන්න තිබුණා. එහෙම නැතිව ජීව උණ්ඩ යොදාගෙන රැඳවියන්ට වෙඩි තැබීම අනුමත කරන්න බැහැ.


ශ්‍රී ලංකාවේ බන්ධනාගාර කියන්නේ මිහිපිට අපායක් කියලත් මතවාදයක් සමාජගතවෙලා තියෙනවා. අවසන් වශයෙන් අපි ඒ ගැනත් කතා කරමු?


ඒ කතාව බොරුවක් නොවෙයි. නිසි පරිදි සනීපාරක්ෂක පහසුකම් බන්ධනාගාරය තුළ නැහැ. අඩුම තරමින් නිසි පරිදි වැසිකිළි කැසිකිළි පහසුකම්වත් නැහැ. හැම දෙයක්ම අතට පයට දෙන්න කියලා නොවෙයි මම මේ කියන්නේ. මොන වැරැද්ද කරත් තමන්ගේ ශරීර කෘත්‍ය ඉටුකරගන්නවත් අවශ්‍ය පහසුකම් නැති එක අනුමත කරන්න බෑ. නිදාගන්න යම්කිසි ඉඩක් නැත්නම්, නිසි ප්‍රමිතියකින් යුක්ත ආහාර වේලක් නැත්නම් එතැන ගැටලුවක් තියෙනවා. සිරකරුවෝද මනුෂ්‍යයෝය කියලා බොරුවට බන්ධනාගාරය ඉදිරිපිට ප්‍රදර්ශනය කරලා තිබුණාට වැඩක් නෑ. ඔවුන්ට මනුෂ්‍යත්වයෙන් සැලකිය යුතුයි. ඒ නිසා යම් සිදුවීමක් වූ පසුව අධිකරණ අමාත්‍යවරයා බන්ධනාගාරයට ගිහින් නිරීක්ෂණය කරලා වැඩක් නෑ. අදාළ බලධාරීන් දවස් දෙක තුනක්වත් ඒ පරිශ්‍රයේ නතර වෙලා රැඳවියන්ගේ ජීවිත පිළිබඳ අවබෝධයක් ගත යුතුයි කියලයි මම නම් යෝජනා කරන්නේ. අපි එහෙම ගිහින් ඔය පරිශ්‍ර තුළ රැඳී සිටිමින් රැඳවියන් ගැන අවබෝධයක් අරගෙන තියෙනවා. එහෙම අවබෝධයක් නොගෙන මේ පද්ධතියේ තියෙන ගැටලු විසඳන්න බෑ.



 

More News..