උතුරුමැද පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය අගෝස්තු මස අවසන් සතියේ
13 August 2026
උතුරුමැද පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය අගෝස්තු මස අවසන් සතියේ
13 August 2026
උතුරුමැද පළාත් බැඩ්මින්ටන් සංගමය සහ සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් එක්ව සංවිධාන කරන උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය මෙම මස 24 වැනිදා සිට 30 වැනිදා දක්වා අනුරාධපුර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සහ මයික් කුක් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඒ සඳහා අයැදුම්පත් භාරගැනීම හෙට (14 වැනිදා) දහවල් දක්වා සිදු කිරීමට නියමිතය.
ජාතික ශ්‍රේණිගතකිරීම්වල පළමු මට්ටමේ තරගාවලියක් ලෙස ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය ලද මෙම තරගාවලියේ කනිෂ්ඨ කාණ්ඩය සඳහා වයස අවුරුදු 11න් පහළ සිට 19න් පහළ දක්වා වයස් කාණ්ඩ ඇතුළත් අතර ජ්‍යෙෂ්ඨ කාණ්ඩය සඳහා අවුරුදු 30න් ඉහළ සිට 70න් ඉහළ දක්වා වයස් කාණ්ඩ ඇතුළත් වේ. ඊට අමතරව ප්‍රවීණයන්ගේ ඒකාබද්ධ අවුරුදු 100ට වැඩි වයස් කාණ්ඩය මෙන්ම කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඇතුළත් විවෘත තරග අංශය ද ශූරතාවලියේදී වැඩි අවධානයකට ලක්වනු ඇත.
තරගාවලියේ සමාරම්භක උත්සවය අගෝස්තු 24 වැනිදා පැවැත්වෙන අතර අනතුරුව මූලික වටයේ තරග ආරම්භ කෙරේ. අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරග අගෝස්තු මස 28 වැනිදා පැවැත්වෙනු ඇත. අවසන් පූර්ව තරග සමග අවසන් මහා තරග අගෝස්තු මස 29 සහ 30 දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර අනතුරුව සමාප්ති උත්සවය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ශූරතාවලිය සඳහා අයැදුම්පත් යොමු කිරීම අන්තර්ජාලය ඔස්සේ හෝ 0777443949 දුරකතන අංකයෙන් තරගාවලි අධ්‍යක්ෂිකා රේණු චන්ද්‍රිකා ද සිල්වා සම්බන්ධ කරගැනීමෙන් සිදු කළ හැක.
මෙහිදී ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතරේ රුපියල් මිලියනයක මුදල් ත්‍යාග බෙදාදීමට නියමිත අතර සෑම තරගයකම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වා කුසලාන, පදක්කම් සහ සහතික පත් පිරිනැමේ. සංවිධායක මණ්ඩලයේ තීරණය අනුව කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග වෙනුවට වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ.
තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතන නිල වෙබ් අඩවියේ පළකර තිබේ.

