brand logo
රුපියල්වල ෆැන්ටසියක් මට නැහැ

රුපියල්වල ෆැන්ටසියක් මට නැහැ

06 March 2023 | ධම්මිකා සුරංජි පතිරණ

ටෙලි නාට්‍ය හරහා වෙනස් ආකර්ෂණයක් ඇති චරිත බිහිවෙන්නෙ කලාතුරකින්. අක්ෂිහි ජනා ලෙසින් කලණ ගුණසේකර අතිශය ජනප්‍රිය මාරි චිත්‍රපටයේ ධනුෂ් වෙන්න උත්සාහ කරනවා කියල රසිකයන් කියනවා. කලණ කියන රංගන ශිල්පියා ගැන හොඳහැටි දන්න ප්‍රේක්ෂකයා කලණට ධනුෂ්ව අනුකරණය කරන්න ඇති වුමනාව මොකක්ද කියලා හිතනවා ඇති. ඇත්තටම කලණට එහෙම වෙන්න ඕන වුණේ ඇයි... ජනප්‍රිය වෙන්නද... එහෙමත් නැතිනම් වෙනස් වෙන්නද?


මේ දවස්වල ප්‍රධානම වැඩේ අක්ෂිද...


ඔව්. මේ දවස්වල අක්ෂි එක්ක තමයි වැඩිපුර කාලය ගතවෙන්නෙ. ඒ අතර අනුර ඒකනායකගේ නවතම ටෙලි නාට්‍යයේ වැඩ කළා. ඒකත් මට අක්ෂි හි ජනා වගේම වෙනස් වැඩක් විදිහට හඳුන්වන්න පුළුවන්. මම එහි රඟපාන්නෙ වෛද්‍යවරයකුගේ චරිතයක්. එම නිර්මාණයේ චාන්දනී සෙනෙවිරත්න, ධර්මප්‍රිය ඩයස්, යුරේනි වැනි කලාකරුවන් සමගයි රඟපාන්නෙ.


මේ දවස්වල වෙඩි නොවදින ළමයි රිදී තිරයෙත් ඉන්නවා නේද?


ඉන්දික ෆර්ඩිනැන්ඩස්ගෙ වෙඩි නොවදින ළමයි චිත්‍රපටය තිරගත වීම ඇරඹිලා තියෙනවා. මේක පුදුම තරම් ආදරේ හිතෙන චිත්‍රපටයක්. අනිවාර්යයෙන්ම සිනමා ශාලාවකට ගිහින් නරඹන්න කියල මම හැමදෙනාටම ඇරයුම් කරනවා. මේ චිත්‍රපටයේ සියලුම රූපගත කිරීම් කෙරුණේ බස් එකක් ඇතුළේ. රංගන ශිල්පියෙක් විදිහට මේ වැඩේ ගැන මම මාර විදිහට තෘප්තිමත්.


අක්ෂි එකේ කලණ ජනප්‍රිය දකුණු ඉන්දීය නළු ධනුෂ්ව අනුකරණය කරනවාද?


අක්ෂි කියන්නෙ වතු ආශ්‍රිතව ගොඩනැගුණ කතාවක්. ඒ කතාවේ ජනාගෙ හීරෝ තමයි මාරි චිත්‍රපටයේ ධනුෂ්. ඒ චරිතය ගොඩනැගිලා තියෙන්නෙ ඒ විදිහට. නැතිව මම රංගනයේදී ධනුෂ් අනුකරණය කරනව නෙවෙයි. ජනා ගෙදරට එක විදිහක්, පිටට එක විදිහක්. ජනාගේ ලෝකය අම්මයි නංගිලා දෙන්නයි ආදි කියන ඔහුගේ යෙහෙළියයි. ජනාට ලොකුවට සමාජ අත්දැකීම් නැහැ. ඔහු ගරාජ් එකට වැඩ කරන කොල්ලෙක්. තමන්ට තියෙන ඇඳුම් දෙක තුන ඇඳල ධනුෂ් වගේ සන්ග්ලාස් එක දාලා තමයි ජනා පාරට බහින්නෙ. ජනාගෙ සම්පූර්ණ හීනය තමයි මාරි හි ධනුෂ්. මේ දවස්වල අක්ෂි රූගත කරන දර්ශන තලයට ගියාම අවට මිනිස්සු මටත් වඩා ඒ චරිතය විඳිනවා.


කලණ හැම වෙලාවෙම ටෙලි නාට්‍ය තුළින් දකින්න නොලැබෙන්නෙ ඇයි...


මම ගොඩක් වැඩ භාරගන්නෙ නැහැ. පහුගිය කාලයේ ටෙලි නාට්‍ය විස්සක් විතර මම මගහැරලා තියෙනවා. පිටපතක් ලැබුණම ඒකෙ මට ලැබෙන චරිතය මම කලින් නොකරපු විදිහෙ එකක් වෙන්න ඕනෑ. ඒ වගේම මට ඒ චරිතය රහට විඳින්න පුළුවන් වෙන්න ඕනෑ. එහෙම චරිත විතරයි මම භාරගන්නෙ. හැම වෙලාවෙම මම උත්සාහ කරන්නෙ ප්‍රමිතිය රැකගෙන වැඩක් කරන්න. ශිල්පියෙක් විදිහට නිර්මාණයක් ඇතුළෙ අත දිග ඇරලා වැඩ කරන්න මම කැමතියි. ඒත් පවතින ආර්ථිකය ඇතුළේ ඒ සඳහා අත දිගහැරලා වියදම් කරන්න පුළුවන්ද කියන එක ගැටලුවක්. අක්ෂි වුණත් සීමිත කොටස් ගණනකින් අවසන් කරන්නයි කතා කරගෙන හිටියෙ. මේ වෙනකොට අපි තීරණයකට ඇවිත් තියෙනවා ප්‍රමිතිය රැකගෙන කරන්න පුළුවන් කොටස් ප්‍රමාණයක් කරමු කියලා.

ඔබට විඳින්න පුළුවන් හැම චරිතයම ප්‍රේක්ෂකයා වැලඳගත යුතුද?


මම කැමති මම කරන චරිතයෙන් ආස්වාදයක් ලබන්න. නමුත් ඒ චරිතයෙන් සමස්ත ප්‍රේක්ෂකයාම තෘප්තිමත් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. ඒත් කිසිම රංගන ශිල්පියකුට කරන්න පුළුවන් කියල මම හිතන්නෙ නැහැ.


කොහොමද තෝරා බේරාගෙන වැඩ කරලා ජීවත් වෙන්නේ?


ගෙදර මට ලොකු වගකීම් පවරලා නැහැ. මම හරිම තෘප්තිමත්ව ජීවත් වෙනවා. රුපියල්වල ෆැන්ටසියක් මට නැහැ.


ඒ කියන්නෙ කලණ මුදල් නිසා රඟපාන කෙනෙක් නෙවෙයි කියන එකද?


මම රුපියල් පසුපස හඹායනවා. ඒත් රුපියල්වලට බැහැ මාව තෘප්තිමත් කරන්න.

පවතින ආර්ථික පීඩනය ඔබේ ජීවිතයට බලපෑමක් වෙලා නැද්ද?


මෙතැනදි මම හිතන්නෙ කලාකරුවෙක් වන මම කොහොම හරි ජීවත් වෙනවා. හැබැයි මටත් වඩා ජීවත් වෙන්න අමාරු මිනිස්සු ඉන්නවා. ඒ නිසා මට මගේ ආර්ථික ප්‍රශ්න ගැන කෙඳිරිලි නගන්න බැහැ. මිනස්සුන්නට හීන දීලා දීලා ඒ මිනිස්සුන්ගෙ බලාපොරාත්තු විනාශ කරලා දැම්මට පස්සෙ එතැනින් එහාට කුමන කතාද! විනෝදාස්වාදය කියන්නෙ මිනිස්සුන්ට අත්‍යවශ්‍යම දෙයක්. රුපවාහිනිය නෙවෙයි මිනිස්සුනට විනෝදාස්වාදය ගෙන දෙන ප්‍රබල මාධ්‍ය. නමුත් අද චිත්‍රපටයක් බලන්න තමන්ගෙ පවුලේ අය එක්ක සිනමා ශාලාවකට යන්න සල්ලි නැහැ. එහෙම කලාවක අපි ජීවත් වෙන්නේ.

 

More News..