brand logo
logo
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතර කඹුරුපිටියේදී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතර කඹුරුපිටියේදී

10 February 2026



මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට තීරණය කළ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමි පවසයි.


බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යයේදී අද (10) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ හිමියන් මේ බව සඳහන් කළේය.


වර්තමාන රජය විසින් අභිනවයෙන් පිහිටුවන ලද බුද්ධ ශාසන සභාවෙහි තෙවන සභාවාරය අද පැවැත්වුණු බවත් එහිදී මෙම තීරණය ගනු ලැබූ බවත් පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමි පැවසුවේය.


එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමි,


"රාජ්‍ය වෙසක් උත්සවය මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරයේදී පවත්වන්නට තීරණය කරනු ලැබුවා. එය සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය මගින් කරන ලද නිර්දේශය අද දින බුද්ධ ශාසන සභාවත් බුද්ධ ශාසන අමාත්‍යතුමන්, නියෝජ්‍ය අමාත්‍යතුමන් එකතුව අද තීරණය කළා මේ අවුරුද්දේ මාතර දිස්ත්‍රික්කයේ පවත්වන්න."


මේ අතර රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් හමුවී මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට රජය තීරණය කළ බව පසුගිය ජනවාරි 24 වැනිදා ප්‍රකාශ කළේය.


එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ මැයි මස 01 වැනි දින විසා නැතක නොයෙදීමෙන් එම දිනය වෙසක් පොහොය ලෙස යොදා ගැනීම සුදුසු නොවන බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ බවත් ඒ සම්බන්ධව අවධානය යොමු කරමින් පොහොය කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගනු ලැබූ බවය.

 

More News..