brand logo
logo
හෙරොයින් සමඟ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

හෙරොයින් සමඟ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

27 September 2026


තංගල්ල පලපොත, යායවත්තේ නිවෙසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් තුනකට ආසන්න ප්‍රමාණයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


පෑලියගොඩ උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් ඊයේ (26) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පලපොත නැගෙනහිර පදිංචි 18 හැවිරිදි තරුණයකු ය.


පෑලියගොඩ උතුර දිසා අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරකට අනුව එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් තංගල්ල පොලිස් වසමට අයත් පලපොත නැගෙනහිර පිහිටි නිවෙසක් වටලා තිබිණි.


එම නිවෙසේ සිටි තරුණයා පරීක්ෂාකිරීමේදී ඔහු සතුව හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2,300ක් සොයාගෙන තිබිණි.


අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම මත්කුඩු තමන් වෙත ලබා දුන්නේ තම සහෝදරයා බවත්, ඔහු සතුවද තවත් මත්කුඩු තොගයක් පවතින බවත්ය.


ඒ අනුව, පලපොත, යායවත්ත ප්‍රදේශයේ පිහිටි 29 හැවිරිදි අදාළ සහෝදරයාගේ නිවස පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත.


පොලිස් කණ්ඩායම අදාළ ස්ථානයට ළඟාවන අවස්ථාවේදී සැකකාර සහෝදරයා නිවසින් පලාගොස් සිට ඇති අතර, නිවස පිටුපස සඟවා තිබූ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 842ක පාර්සලයක් සොයා ගැනීමට පොලීසියට හැකිවී තිබේ.


එම සහෝදරයා පලපොත, යායවත්තේ නිවෙසක පදිංචි 29 හැවිරිදි අයෙකු වන අතර ඔහුගේ නිවෙසද පොලිස් නිලධාරින් පරීක්ෂා කර තිබිණි.


අත්අඩංගුවට ගත් සැකකරු පොලීසිය හමුවේ වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම හෙරොයින් තොගය මුහුදේ පාවෙමින් තිබියදී සිය සහෝදරයාට හමු වූ එකක් බවයි.


සිද්ධිය සම්බන්ධයෙන් පලාගිය 29 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

 

More News..