brand logo
logo
සී.අයි. වරුණි බෝගහවත්තට සුපිරි රියක් කොහෙන්ද!

සී.අයි. වරුණි බෝගහවත්තට සුපිරි රියක් කොහෙන්ද!

07 November 2026 | කීර්ති මෙන්ඩිස්

වරුණි බෝගහවත්ත යනුවෙන් කී විට ඈ ගැන නොදන්නා අයෙක් මේ බිමේ නැති බව සහතිකය. ඒ, ඈ පොලිස් දෙපාර්තමේන්තුවේ සේම රටේ ඉතා ජනප්‍රිය චරිතයක් වූ නිසාය. වරුණි බෝගහවත්ත ගැන රටේ වැසියන් කතා කිරීමට පටන් ගත්තේ මාතර පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ඈ රාජකාරි කළ සමයේය. මැරයන් පසුපස හඹා ගොස් අතින් පයින් ඔවුන් මෙල්ල කළ ඈ ගැනද එකල කතාබහක් ඇති විය.


දැන් යළිදු වරක් ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත ගැන කතාබහක් ඇතිවී තිබේ. ඒ, හොඳකට නොව, නරකටය. කොටින්ම කියනවා නම් පොලිස් දෙපාර්තමේන්තුවට එල්ල වූ කළු පැල්ලමකට ඇගේ නම ගෑවී තිබීම හේතුවෙනි. කොටින්ම කියනවා නම් ඈ දැන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමග නීතියේ ආධිපත්‍යය රකින මෙවන් නිලධාරීන්ගේ හැසිරීම ගැනද ගැටලු මතුවෙමින් ඇත.


මැය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ඇය පරිහරණය කරන ලද මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා මුදල් සොයාගත් ආකාරය පිළිබඳ නිසි ලේඛන සහ නීත්‍යනුකූල ආදායම් මාර්ගය ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම නිසා බව සඳහන්ය. වාහනයක් මිලදී ගැනීම සහ කල් බදු වාරික ගෙවීම සඳහා මුදල් ලැබුණු ආකාරය තහවුරු කිරීමට නොහැකි වීමේ චෝදනා යටතේ ඇය මෙසේ අත්අඩංගුවට පත් විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය අත්අඩංගුවට ගත් මොහොතේ ඇය රාජකාරි කරමින් සිටියේ කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙසය.


අත්අඩංගුවට ගත් වරුණි, නොවැම්බර් මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඇය එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය මාතර මහෙස්ත්‍රාත් චතුර දිසානායකගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. ඇය මේ මස 20 වෙනිදා දක්වා යලිත් බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය ඉකුත් 6 වැනිදා නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබුණේ රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.


මාතර විවිධ සේවා සමුපකාර සමිතියක වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙම විමර්ශන ඇරඹී තිබිණි. එම සමිතියේ එවකට හිටපු සභාපතිවරයාද මීට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි. රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙම සමුපකාර සමිතියේ රුපියල් කෝටි ගණනක පමණ මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බව සඳහන් වේ. මෙම විමර්ශනයේදී වරුණි බෝගහවත්ත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය පරිහරණය කළ බවට සැක කරන කාර් රථය ගැනද අනාවරණය වී ඇත. එය හොන්ඩා වෙසල් වර්ගයේ රථයක් බව කියයි. දිගින් දිගටම කරන ලද විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ එම සමුපකාර සමිතිය සතු මුදල්වලින් කාර් රථයට මාසික වාරික ගෙවා ඇති බවය.

පසුව මේ සම්බන්ධයෙන් මතුවූ ගැටලු ගැන නිවැරදි භාවය තහවුරු කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඇයගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ ගෙන ඇතැයිද වාර්තා වේ. එහිදී ඇයට එම වාහනය මිලදී ගැනීම සහ ඊට කල්බදු වාරික ගෙවීම සඳහා මුදල් උපයාගත් ආකාරය තහවුරු කිරීමට නොහැකි වීම මත මුලින්ම ඇය පරිහරණය කළ බවට කියන කාර් රථය රහස් පොලිස් භාරයට ගෙන තිබේ. ඒ, ඉකුත් ඔක්තෝබර් මස 17 වැනිදාය. ඉන් අනතුරුව ඇයවද එම ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කොට ඇත්තේ සැකකාර නිලධාරිනියගේ වැටුප රුපියල් 1,40,000ක් වන අතර, මෝටර් රථයේ කල්බදු වාරිකය රුපියල් 1,32,000ක් බවය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ඇය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරන ලදි. සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය සහ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

​මෙලෙස අත්අඩංගුවට ගත් වරුණි බෝගහවත්ත නමැති නිලධාරිනිය පසුගිය කාලයේ යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් කතාබහට ලක්වූ තැනැත්තියකි. ඇය දැක්වූ විවිධ දක්ෂකම් මත පොලිස් දෙපාර්තමේන්තුවේ කැපී පෙනුණු නිලධාරිනියකද වූවාය. සමහරක් අවස්ථාවල ඇය පොලිසිය මගින් කරන ලද විශේෂ වැටලීම්වලට පවා එක් කරගත් නිලධාරිනියක්ද වේ. ඇගේ දක්ෂකම් නිසා පොලිසියටද මහත් පිළිගැනීමක්ද ලැබිණි. මේ නිසා ඇය සම්බන්ධයෙන් රටේ මහජනතාව තුළ තිබුණේද කිසියම් ගරුත්වයකි. ඒ අතර ඇයට චෝදනා එල්ල වූ අවස්ථාද නැතිවා නොවේ.

ඇය පොලිස් සේවයට එක්වූයේ 1996 අප්‍රේල් මස 16 වැනිදාය. ඒ, උප පොලිස් පරීක්ෂිකාවක් ලෙසය. ඇගේ පියාද රාජකාරි කළේ පොලිස් දෙපාර්තමේන්තුවේය. ඒ නිසා ඇයට පොලිසිය ආගන්තුක තැනක් නොවීය.

වයස අවුරුදු 12 පමණ වෙද්දී ඇයට පුවත්පතක තිබූ ලිපියක් කියවීමට අවස්ථාව ලැබිණි. එය ශ්‍රී ලංකාවේ ප්‍රථම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියක වූ ප්‍රමිලා දිවාකර අලළා ලියූ ලිපියකි.

‘‘එදා මම හිතාගත්තා කවදා හරි මම පොලිසියට බැඳෙනවා කියලා...’’

ඇය වරෙක පුවත්පතකට එසේ ප්‍රකාශ කර තිබුණාය. පාසල් අධ්‍යාපනයෙන් පසු වරුණි, පොලිස් සේවයට එක්වූයේ ඉන් අනතුරුවය. එවකට රට යුද භීතියෙන් ඇලළී තිබිණි. ඇයට මුලින්ම රාජකාරිය කරන්නට ලැබුණේද යුද බියෙන් ඇලළී ගිය වව්නියාව වැනි ප්‍රදේශවලය. ඇයට රාජකාරිය ගැන එතරම් බියක් නොදැනිණි. ඇය පවසා තිබුණේ පොඩි කාලේ සිටම ඇය අභියෝගවලට කැමැත්තෙන් මුහුණ දුන් බවකි.

වව්නියාවෙන් ඇරඹි පොලිස් රාජකාරිය මහියංගණය, මහවිලච්චිය ප්‍රදේශවලින් පසු මාතර ප්‍රදේශය දක්වා දිව ගියේය. මාතර පොලිසියේ රාජකාරියට පැමිණි ඇය බොහෝ කලක් සේවයේ නිරත වූයේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙසය.

සිය දක්ෂතා නිසාම රට වටා සිදුවූ ඇතැම් සිද්ධීන්වලදී නොබියව මුහුණ දුන් ඇය කලක් පොලිස් දෙපාර්තමේන්තුවට අත්‍යාවශ්‍යම චරිතයක් වූවාය.

2001 වසරේ මාතර ප්‍රදේශයේ කසිප්පු ජාවාරමක් වැටලීමට ගිය ඇගේ ජීවිතයද බේරුණේ අනූ නවයෙනි. කසිප්පු ජාවාරමුන් කොටුකර ගැනීමට ඇය නිල්වලා ගඟේ පීනමින් කළ නිර්භීත ක්‍රියාදාමය එසමයේ ප්‍රසිද්ධ කතාන්දරයක් විය.

සමහරු ඇය යකඩ ගැහැනියක් ලෙස හඳුන්වනු ලැබිණි. විටෙක ඇය ළමා පරපුරට සෙනෙහෙබර මවක් වූවාය. කාන්තාවන්ට දිරිය දුන් සහෝදරියකි. එමෙන්ම සෑම මොහොතකම සේවයට කැපවුණු නිලධාරිනියක් ලෙසද ප්‍රකටය. මෙවන් ක්‍රියාවන් නිසා වරෙක ඇය ශ්‍රී ලංකා පොලිසියේ විශිෂ්ටතම පොලිස් පරීක්ෂකවරිය ලෙසද සම්මානයට පාත්‍ර වූවාය. 2017 වසරේ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ පැවැති 151 වැනි පොලිස් දිනයේදී පොලිස්පත් පූජිත් ජයසුන්දර අතින් ඇයට එම සම්මානය හිමිවිණි.

වරුණි කෝසලා බෝගහවත්තගේ නිර්භීතකමත්, ජවසම්පන්න බවත් සමග බැඳුණු උපරිම කැපවීම නිසාම කලක් ඇය පොලිසිය තුළ කැපී පෙනුණු නිලධාරිනියක්ද වූවාය.

2001දී ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලැබූ වරුණි 2003 වසරේදී දකුණු පළාත් කාන්තා විරු සම්මානය, 2011 වසරේ දක්ෂිණ ලංකා සම්මානය ඇතුළු සම්මාන රැසකින්ම පිදුම් ලැබුවාය.

2020 වසරේ ජාතික රෝහල අසලදී සිදුවූ මුදල් මංකොල්ලයත් සමග වරුණි බෝගහවත්ත යළි කරළියට පැමිණි අතර, එම ක්‍රියාවෙන් ඇයට මහත් ප්‍රසිද්ධියක් ලැබිණි.

2020 වසරේ ජුනි මස 9 වැනිදා කොළඹ ජාතික රෝහලේ එහි මුදල් අංශයට ගිය පුද්ගලයකු පිස්තෝලයක් පෙන්වා බිය ගන්වා මුදල් තොගයක් රැගෙන පැන යාමේ සිද්ධියක් වාර්තා විය. එම අංශයේ සේප්පුවල තිබූ මුදල් මෙන්ම සේවකයන්ට අතිකාල දීමනා ගෙවීමට ගෙනා මුදල්ද මෙසේ පැහැරගෙන ගොස් තිබිණි.

මෙලෙස මුදල් පැහැරගෙන පලා යන එම පුද්ගලයා අල්ලා ගැනීමට රාජ්‍ය බුද්ධි අංශයේ ආධුනික නිලධාරීන් දෙදනකු පන්නද්දී ඒ අසලින් ගමන් ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණිගේ නෙත ගැටී තිබේ. ඇය සිය දරුවා සමග මාතර සිට කොළඹ බලා සිය මෝටර් රියෙන් ගමන් කරමින් සිටියදී අහම්බෙන් මෙන් නෙත ගැටුණු මෙම දර්ශනයත් සමග ඇය සිය රථයේ රියැදුරාට උපදෙස් දී තිබුණේ කෙසේ හෝ ඇඟට කපා පලා යන පුද්ගලයා කොටුකර ගත යුතු බවය. ඒ බව වටහාගත් සොරාද ඇය මගහැර ත්‍රීවීලරයක නැගී පලා යාමට තැත්කර ඇති අතර, ඒ පසුපස පැන්නූ වරුණි, කොළඹ වෛද්‍ය පීඨය ඉදිරිපිටදී ඔහු සිය ග්‍රහණයට ගෙන තිබුණේ අපමණ වෙහෙසක් දරමිනි. පසුව අනාවරණය වූයේ මෙලෙස කොටුකරගෙන ඇත්තේ වෛද්‍යවරයකු බවකි.

වරුණිගේ මෙම ත්‍රාසජනක ක්‍රියාව ගැන එදා උසස් නිලධාරීන්ගේ පවා පැසසුමට ලක්වූ අතර, රටේ මහජනයාද වරුණිගේ ක්‍රියාදාමය අගය කරන්නට වූහ.

මෙවන් ක්‍රියාවන් නිසා සම්මාන පවා හිමිකරගත් ඇය රාජකාරියට එහා ගිය මනුස්සමක් ඇති නිලධාරිනියක් ලෙසද ප්‍රසිද්ධියට පත්වූවාය. රාජකාරිය අවසන්ව තම පුතුට බෙහෙත් රැගෙන ඒමට රාත්‍රි කාලයේ ගාල්ලේ සිට මාතරට පැමිණි අවස්ථාවක මිරිස්ස පාලම අසල මවක් සහ වයස අවුරුදු අටක දියණියක් හඬමින් සිටිනු දැක තම පුතාගේ අසනීපය පසෙකලා වාහනයෙන් බැස ඔවුන් ළඟට ගිය ඇය ජීවිතය නැතිකර ගැනීමේ අදහසින් පැමිණි ඔවුන්ගේ දුක අසා ඒ මොහොතේම ඔවුන්ට පිහිට වී ඔවුන් වල්ගම පදනමකට භාරදුන් උතුම් ක්‍රියාවක්ද එලෙස වාර්තා වී තිබිණි.

මෙවන් ක්‍රියාවන් අතර ඇයට චෝදනා එල්ල වූ ක්‍රියාවන්ද වූ අතර, මෙවන් හේතූන් නිසා ඇය ​පොලිස් ස්ථාන කිහිපයකටද මාරුකරන්නට උසස් නිලධාරීහු පියවර ගත්හ.

ඇගේ රාජකාරිය අගය කළ එක්තරා සමයක ඇය කොළඹට පවා කැඳවා සුවිශේෂී රාජකාරි භාර දී තිබූ අතර, එය සෙසු පොලිස් නිලධාරීන් අතරද දැඩි කතාබහට ලක්විය.

කෙසේ වෙතත් ගාල්ල කොට්ඨාස මහජන පැමිණිලි අංශය භාර ස්ථානාධිපතිනිය ලෙස සහ මිරිහාන මූලස්ථාන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස රාජකාරි කළ ඇයට නියමිත පරිදි උසස්වීම් නොලැබූ බවටද ඇතැම් පිරිස් චෝදනා එල්ල කර තිබිණි. සිය රාජකාරිය මැනවින් ඉටු කිරීම මත ජනතා ප්‍රසාදය හිමි වුවද දෙපාර්තමේන්තුවේ ලැබිය යුතු පහසුකම් නොලැබීම මත ඇයට කුඩම්මාගේ සැලකිලි ලැබෙන බවටද චෝදනා එල්ල විණි.

කෙසේ වෙතත් වසර තිහකට වැඩි කාලයක් පොලිස් දෙපාර්තමේන්තුවේ නමක් දිනාගෙන සිටි ඇය හිටිහැටියේ මෙලෙස අත්අඩංගුවට ගැනීමත් සමග කාගේත් අවධානය මේ වනවිට ඇය වෙත යොමු වී තිබේ.

කෙසේ වෙතත් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඇගේ අනාගතය මෙම විමර්ශනය ඔස්සේ තීරණය වනු ඇත.

කීර්ති මෙන්ඩිස්

 

More News..