විලියම් කුමරු සහ කේට් කුමරිය ඉන්දීය අගමැති හමුවෙයි
19 November 2026
විලියම් කුමරු සහ කේට් කුමරිය ඉන්දීය අගමැති හමුවෙයි
19 November 2026
බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ වන කේට් කුමරිය සිය තෙදින ඉන්දීය සංචාරය අවසන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබේ.
2022 වසරෙන් පසු රාජකීය යුවළ සහභාගී වූ පළමු විදෙස් සංචාරය මෙය වන අතර, පරිසර සංරක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක වන සිය Earthshot ත්‍යාග වැඩසටහන ඉන්දියාවට රැගෙන ඒම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදි විලියම් කුමරුට සිය ස්තුතිය පළ කර ඇත.
විලියම් කුමරුගේ ප්‍රධාන පෞද්ගලික ව්‍යාපෘතියක් ලෙස සැලකෙන Earthshot සම්මාන වැඩසටහන යටතේ පරිසර හිතකාමී නවෝත්පාදන වෙනුවෙන් ජයග්‍රාහකයන්ට පවුම් මිලියනයක ත්‍යාග පිරිනැමීම ද මීට පෙර දිනයේ සිදුකර තිබේ.
මේ අතර, කේට් කුමරිය මාතෘ රෝහලක සංචාරයක නිරත වී ඇති අතර, නොමේරූ නිවුන් දැරියන් දෙදෙනකු බිහිකිරීමෙන් පසු එක් දරුවකු අහිමි වූ මවක් සමඟ සුහද කතා බහක නිරතව ඇතැයි විදෙස් පුවත් වාර්තා සඳහන් කරයි.
ඊයේ දින මුම්බායි නුවර සිට ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය වෙත පැමිණි රාජකීය යුවළ, සිය සංචාරයේ අවසන් අදියරේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ඇත.
මෝදිගේ පෞද්ගලික නිවසේ පැවති මෙම හමුවේදී බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන සබඳතා මෙන්ම දෙරටේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.
මීට දස වසරකට පෙර සිදුකළ සංචාරයෙන් පසු නැවතත් ඉන්දියාවට පැමිණීමට ලැබීම පිළිබඳව සතුට පළ කළ රාජකීය යුවළ, තමන්ට උණුසුම් පිළිගැනීමක් ලබාදුන් අග්‍රාමාත්‍යවරයාට සහ ඉන්දීය ජනතාවට ද සිය ස්තුතිය පළ කර ඇත.


