චීන රතු හමුදාවේ ඓතිහාසික දිගු පා ගමනේ 90 වැනි සංවත්සරය සැමරේ
22 October 2026
චීන රතු හමුදාවේ ඓතිහාසික දිගු පා ගමනේ 90 වැනි සංවත්සරය සැමරේ
22 October 2026
චීන රතු හමුදාවේ ඓතිහාසික දිගු පා ගමනේ 90 වැනි සංවත්සරය සැමරීමේ සමුළුව අද (22) චීනයේ බෙයිජිං අගනුවරදී පැවැත්විණි.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා එම සමුළුවට එක්වෙමින් විශේෂ දේශනයක් පැවැත්වීය.
ඉතිහාසය නිවැරදිව සමාලෝචනය කිරීම තුළින් වඩාත් යහපත් අනාගතයක් නිර්මාණය කළ හැකි බව අවධාරණය කළ ජනාධිපතිවරයා, චීන කොමියුනිස්ට් පක්ෂය, හමුදාව සහ සියලු ජනවාර්ගික කණ්ඩායම්වලට අයත් ජනතාව පක්ෂයේ මධ්යම කාරක සභාව වටා එක්සත්ව සිටිමින් ඓතිහාසික දිගු පා ගමනේ ජීවගුණය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බව ද සඳහන් කළේය.
විප්ලවීය පුරෝගාමීන් ආරම්භ කළ ඓතිහාසික මෙහෙවර ඉදිරියට ගෙන යමින්, නව යුගයේ දිගු පා ගමන තුළ නව ජයග්රහණ අත්කර ගැනීමේ අවශ්යතාව ද ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළේය.
1934 ඔක්තෝබර් මාසයේදී ආරම්භ වූ චීන රතු හමුදාවේ දිගු පා ගමන 1936 ඔක්තෝබර් මාසයේදී අවසන් විය. ජාතිකවාදී හමුදාවන්ගේ ප්රහාර හමුවේ සිය බලය ආරක්ෂා කර ගැනීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් මෙම දැවැන්ත හමුදා ගමන ආරම්භ කෙරිණි.
චීන නිල ඓතිහාසික වාර්තාවලට අනුව, රතු හමුදාවේ ප්රධාන බලකාය කිලෝමීටර් 12,500ක පමණ දුෂ්කර ගමනක නිරත විය. කඳුකර ප්රදේශ, හිමෙන් වැසුණු කඳු මුදුන්, ගංගා සහ වගුරු බිම් තරණය කරමින් සිදුකළ මෙම ගමනේදී සටන්, ආහාර හිඟය සහ රෝගාබාධ හේතුවෙන් සෙබළුන් විශාල පිරිසකට ජීවිත අහිමි විය.
1936 වසරේදී රතු හමුදාවේ ප්රධාන බලකා එක්වීමත් සමඟ මෙම ගමන අවසන් වූ අතර, එය චීන කොමියුනිස්ට් පක්ෂයේ පැවැත්ම තහවුරු කිරීමටත්, 1949 වසරේදී චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමට මඟ පෑදූ විප්ලවීය ක්රියාවලිය ශක්තිමත් කිරීමටත් දායක විය.
වර්තමානයේදී චීනය තුළ දිගු පා ගමන කැපවීම, ධෛර්යය, එකමුතුකම සහ අභියෝග ජයගැනීමේ අධිෂ්ඨානය සංකේතවත් කරන ඓතිහාසික සිදුවීමක් ලෙස සැලකේ. එහි ජීවගුණය නව පරපුර වෙත රැගෙන යමින්, චීනයේ නවීකරණය සහ ජාතික සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා එය ආදර්ශයක් කරගත යුතු බව ද ජනාධිපති ෂී ජින්පිං මහතා සිය දේශනයේදී වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම සැමරුම් සමුළුවට චීන කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයන් වන ලී චියැං, චාඕ ලෙජි, වැං හුනිං, චායි චී, ඩිං ෂුවෙෂියැං සහ ලී ෂී යන මහත්වරුන් මෙන්ම චීන උප ජනාධිපති හැන් ෂෙං මහතා ද එක්ව සිටියහ.
මේ අතර, දිගු පා ගමනේ 90 වැනි සංවත්සරය නිමිත්තෙන් චීන මහජන බැංකුව රන් හා රිදී සමරු කාසි නිකුත් කිරීමට ද පියවර ගෙන තිබේ. එම සමරු කාසි චීන මහජන සමූහාණ්ඩුවේ නීත්යනුකූල මුදල් ලෙස සැලකේ.

