brand logo
logo
ප්‍රමෝදය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වන්දි  ඉල්ලා නඩු මගට

ප්‍රමෝදය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වන්දි ඉල්ලා නඩු මගට

12 August 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ, තමන් හා එකඟ වූ කාලයට පෙර අදාළ තනතුරෙන් තමා ඉවත්කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වන්දි ඉල්ලා නඩුමගට පිවිසීමට සැරසෙන බව සැලවේ.


ප්‍රමෝදය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන, විනෝදන් ජෝන් සහ රසාංජලී ද අල්විස් සෙසු සමාජිකයන් ලෙසින් සිටි හිටපු තේරීම් කමිටුව දෙවසරක ධුර කාලයක් සඳහා 2025 දෙසැම්බර් 16 වැනිදා පත්වූ අතර වත්මන් ක්‍රිකට් පරිවර්තන කමිටුව පත්වීමෙන් අනතුරුව 2026 මැයි 21 වැනිදා කපිල විජේගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුක් පත්කිරීමට යෙදුණි. නමුත් නව තේරීම් කමිටුව පත්කිරීමට මත්තෙන් හිටපු තේරීම් කමිටුව ඉවත් කිරීමට අදාළ සාධාරණ කරුණු දැක්වීමක් හෝ අදාළ නිසි පියවර අනුගමනය කිරීමක් සිදුව නැති බවට ද වාර්තා පළවුණි.


අනතුරුව හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ සහ එහි සාමාජික ඉන්දික ද සේරම් විසින් තමන්ව අත්තනෝමතිකව ඉවත් කිරීමට එරෙහිව වන්දි ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත එන්තරවාසි යොමුකර තිබිණි. මෙම තත්ත්වය මධ්‍යයේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් හිටපු තේරීම් කමිටුවේ සභාපති හැර සෙසු සාමාජිකයන් සිව්දෙනා සමග එකඟතාවයට පැමිණෙමින්, එක් අයකුට රුපියල් ලක්ෂ 32ක් බැගින් (බදු අඩුකිරීමෙන් පසු එක් අයකුට රුපියල් ලක්ෂ 24ක් බැගින්) මුදලක් පිරිනමා තිබුණි. මේ අතර තරංග පරණවිතාන වෙත ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ සහ විනෝදන් ජෝන් වෙත ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ තනතුරුද පිරිනැමීමට ද කටයුතු සිදුවිය. එසේම මෙම ප්‍රදානයන් අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු නොවන බවටද ඔවුන්ගෙන් පොරොන්දු පත්‍ර ලබාගැනීමට කටයුතු කර තිබිණි.


එසේ වුවද හිටපු තේරීම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ හා එකඟතාවක් පිණිස මෙවැනි කිසිදු සාකච්ඡාවක් සිදු ව ඇති බවක් වාර්තා නොවීය.


මෙම තත්ත්වය යටතේ, අදාළ පත්වීමේ පොරොන්දු රාජකාරි කාලය සපිරෙනතුරු නියමිත වූ මාසික දීමනාවල එකතුව මෙන්ම මෙලෙස අහේතුකව ඉවත්කිරීම හේතුවෙන් තම කීර්තිනාමයට සිදුවූ හානිය යන කරුණු ප්‍රමෝදය වික්‍රමසිංහ ඉල්ලා සිටින වන්දි මුදලේ වටිනාකමට පාදක වී ඇතැයි සැලවේ.


ප්‍රමෝදය වික්‍රමසිංහ මෙලෙස ඉවත්කෙරු‌ණේ තේරීම් කමිටු සභාපති ලෙස සිය දෙවැනිවර පත්වීමෙන් සිව් මසකට පසුව වන අතර ඔහු එම තනතුර දැරූ පළමු අවස්ථාවේදී (2021දී) කැපී පෙනන තරුණ ක්‍රීඩකයන් රැසක් ජාතික කණ්ඩායමට කැඳවමින් වසර 8කට පසු ශ්‍රී ලංකාවට ආසියානු කුසලාන ශූරතාවක්, එම අනුශූරතාවක්, තිස් වසරකට පසු ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලි ජයක්, 2016න් පසු පළමුවරට පන්දුවාර 20 ලෝක කුසලානක් සඳහා සෘජු සුදුසුකම් ලබාගැනීම වැනි මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ කැපී පෙනෙන තැන් රැසක් සනිටුහන් කිරීමට සමත්විය.

 

More News..