Best News Website award
brand logo
logo
හැම්පර්ස් කියන්නෙ අල්ලස් නෙවෙයි සහෝ!

හැම්පර්ස් කියන්නෙ අල්ලස් නෙවෙයි සහෝ!

14 November 2026 | සුන්දර නිහතමානි ද මැල්

"පව් වැඩේ නේද රංග දිසානායකට?" බිරිඳ මගෙන් ඇසුවාය. "කොහොම හිටපු කෙනෙක්ද අල්ලස් කොමිසමේ ලොක්කා කියන්නෙ"

මට ඒ කතාව වැටහුණේ නැත.

"ඇයි අනේ ටිල්වින් සිල්වාව පත්කරන්න යනවනෙ අල්ලස් කොමිසමේ ලොක්කා කරල" බිරිඳ කියා සිටියාය. "ඒ කියන්නෙ රංගට ජොබ්බෙක නැතුව යනවනෙ"

ඒ අසා මට හයියෙන් හිනා ගියේය.

"ඔයාට මැන්ටල්ද?" මට ඉබේටම ඇසුණේය." ටිල්වින් සිල්වා කියන්නෙ පැලවත්තෙ ලොක්කා.⁣ ඔය කොයි ලොක්කත් යටයි හලෝ පැලවත්තෙ ලොක්කට. එහෙව් පුරුෂයා පැලවත්තෙන් යයිද ජනාධිපතිකම දුන්නත්"

බිරිඳ මගේ අදහස පිළිගත්තේ නැත.

"නත්තලට හැම්පර්ස් ඉල්ලපු නගරාධිපති ගැන පරීක්ෂණේ කරන්නෙ පැලවත්තෙන්ලුනෙ. ඒවුණාට අල්ලස් චෝදනාවක් ගැන විභාග කරන්න දේශපාලන පක්ෂෙකට බෑනෙ" බිරිඳ මට විස්තර කළාය. "ඒ කියන්නෙ ටිල්වින් සිල්වා අල්ලස් කොමිසමේ ලොක්කා කරල නගරාධිපතිට විරුද්ධ පරීක්ෂණේ කරනව කියලනෙ"

බිරිඳ සිය තර්කය ක්‍රමානුකූලව ගොඩ නැගූවද මට එය පිළිගැනීම අසීරු විය.

"අල්ලස් චෝදනාවක් කියන්නෙ නවනින්දාවට පත්වෙලා හිරෙත් වැටෙන්න පුළුවන් වැඩක්නෙ. එහෙම චෝදනාවක් විභාග කරන්න ඕන ස්වාධීන පරීක්ෂකවරයෙක්" මම බිරිඳට පෙන්වා දුන්නෙමි. "ඒවුණාට ටිල්වින් සිල්වා ස්වාධීනයි කියල සලකන්න බෑනෙ"

මගේ කතාවෙන් බිරිඳ කේන්ති ගත්තාය.

"ඇයි නැත්තෙ ?" ඕ ක්ෂණිකව ඇසුවාය. "ජෙපි නායකයො හැමෝම අවංක, සාධාරණ, ස්වාධීන මිනිස්සු කියල මුළු රටම දන්නවනෙ"

පවුලේ සාමය වැදගත් බැවින් මම කතාව වෙනතකට හරවා ටිල්වින් සිල්වාගේ අල්ලස් පරීක්ෂණය කෙබඳු වනු ඇද්දැයි විමසුවෙමි.

"පක්ෂෙ ලේකම් කියන්නෙ ඉතින් පක්ෂෙ ඔක්කොටම වැඩියෙ බුද්ධිමත් කෙනානෙ" බිරිඳ කියා සිටියාය. "එයා කවුරුවත් දකින්නෙ නැති පැත්තකින් ප්‍රශ්නෙ දිහා බලයි"

ඒ කෙසේදැයි මම විමසුවෙමි.

"පක්ෂෙ⁣ ලේකම් දන්නවනෙ අවංක නායකයො විතරක් ඉන්න පක්ෂෙ නගරාධිපතියෙක් අල්ලස් ඉල්ලුව වෙන්න බෑ කියල" බිරිඳ මට කියා සිටියාය. "ඒක නිසා නගරාධිපති නත්තලට හැම්පර් ඉල්ලුවෙ නත්තලේ ජීවගුණය නැත්නම් ක්‍රිස්මස් ස්පිරිට්ටෙක රැකගන්න කියල එයා තේරුම් ගනියි. නත්තල කියන්නෙ කවුරුත් කාටත් තෑගිබෝග දෙන අවස්ථාවක්නෙ"

"එතකොට හැම්පර්ස් තෑගි දෙන මිනිස්සුන්ට ඒ වෙනුවට නගරාධිපතිගෙන් හම්බුවෙන තෑග්ග මොකක්ද?"

"නගරාධිපතිලා කොච්චර දක්ෂ, අදූෂිත මිනිස්සු වුණත් ඕවයෙ ඉන්න අදක්ෂ, දූෂිත නිලධාරීන් නිසා ඔය නගර සභාවලින් මෙලෝ වැඩක් කෙරෙන්නෙ නෑනෙ" බිරිඳ පිළිතුරු දුන්නාය." ඒ නිසා යහමින් හැම්පර්ස් හම්බවුණොත් ඒ වෙනුවෙන් කුණු ගෙනියනව, කාණු සුද්ද කරනව වගේ වැඩ නගරාධිපති කරල දෙයි තෑග්ගක් හැටියට "

මගේ විච්කිච්ඡාව එතෙකින් අවසන් වූයේ නැත.

"නගරාධිපතිව හෝදන්න බැරුව ගියොත් ටිල්වින් සිල්වා මොනවා කරයිද?"

"නගරාධිපතිට තදින් අවවාද කරයි" බිරිඳ කියා සිටියාය. "මීට පස්සෙ ප්‍රසිද්ධියේ හැම්පර්ස් ඉල්ලන්න එපා, ඒවා පෞද්ගලිකව කරගන්න කියල. කාටවත් බෑනෙ කාගෙවත් පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන්න"

ප්‍රසිද්ධියේ අල්ලස් ඉල්ලූ මිනිහෙක්ව මේ වගේ සුපිරිසුදු ආණ්ඩුවකින් ආරක්ෂා කිරීම තේරුම්ගත නොහැකි යැයි මම අවසාන වශයෙන් කියා සිටියෙමි.

බිරිඳ එබසට සිනාසුණාය.

"අපිට නම් ඒක හොඳට තේරෙනවා" බිරිඳ කීවාය. "ඔය නගරාධිපතිනෙ සැරයක් කිව්වෙ ලක්ෂයක් මරල හරි මේ ආණ්ඩුව දිගටම තියාගන්නවා කියල. නත්තල් හැම්පර් එකක් නිසා ඒ වගේ වටිනා මනුස්සයෙක්ව නැති කරගන්න පුළුවන්ද?"


 

More News..