Best News Website award
brand logo
logo
මද්දුම බණ්ඩාර පන්නයේ රජයේ සේවකයන් ඕනෑකර තිබේ

මද්දුම බණ්ඩාර පන්නයේ රජයේ සේවකයන් ඕනෑකර තිබේ

22 November 2026

රා.සේ.පි. යනුවෙන් ලියූ ලිපියක් ගෙදරට ඒමත් ගාම්භීරකමටත්, සතුටටත් කාර්ණයක් වී තිබිණ. ‘රාජ්‍ය සේවය පිණිසයි’


එහෙත් දැන් ඒ රාජ්‍ය සේවය පිණිස කැපව විශ්‍රාම ගිය අයගේ ගෙවල් වලට රා.සේ.පි. කියා ලියුමක් ලැබෙන විට, තිගැස්සීමක් ඇතිවන්නේය. ඒ තමන්ට අල්ලස් දූෂණ විමර්ශන කොමිසමෙන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවූ ලිපියක් ඒ තුළ තිබේදැයි ඇති වන බිය නිසාය. මීට වසර දෙසීයකටත් පෙරාතුව නෝර්ත් ආණ්ඩුකාරයා රාජ්‍ය සේවය පිහිට වූ දා සිට බෙහෝ දේ බිහි කළේ අද රාජකාරියට බියේ ඉන්නා රාජ්‍ය සේවකයාය. එදා මේ රටේ කාන්තාවක් ගැබ් ගත් විට ගැබපෙළහර පාන්නට ආ ආණ්ඩුවේ සේවකයාය. ඉන්පසු සිප් සයුර තරණය කර වැඩදායී පුරවැසියකු වන්නට එන දරුවන්ගේ අනාගතය භාර ගැනීමේ සිට පොලිසි, උසාවි, ආදී සේවා සපයා සොහොනට ගියවිට දේහය දැවීමට ස්වීචය ඔබන්න ඉන්නෙත් රජයේ සේවකයාය. හැම සාර්ථක දේශපාලනඥයකු පිටුපසම සාර්ථක රජයේ සේවකයකුත් සිටියේය. ඉඟිනිමිටිය ජලාශය ඉදිකිරීමේ සිට සාගරය ගොඩකර කොළඹ වරාය නගරය ඉදිකිරීම දක්වා දැයෙහි සිටියේ රජයේ සේවකයාය. විශ්වවිද්‍යාල දාහතක්, පාසල් එකළොස් දාහක්, රෝහල් තුන්දාහක් පිහිට වූයේත්, ඒවා කරවූයේත් වෙන කව්ද, රජයේ සේවකයාය.


පාර්ලිමේන්තුව ගොඩනැගූවේත්, ඒවා පාලනය කළේත්, රජයේ සේවකයාය. මහවැලියත්, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ විදේශ ආධාරවලින් ඉදිකළත් ඒවා ගේන්නට මූල්‍ය ක්‍රමෝපායයන් හැදුවේත්, ගිවිසුම් හැදුවේත්, සැලසුම් ඇන්දේත් රජයේ සේවකයාය. දේශපාලනඥයා පාර්ලිමේන්තුවට යවන්නට ඡන්ද තිබ්බේත් රජයේ සේවකයාය. කොටින්ම හිරගෙවල් තිස්හයක් හැදුවේත්, හිරකරුවන්ට මාංචු දාන්නේත්, සිර මැදිරිය අරින්නේත්, වහන්නේත් රජයේ සේවකයාය. තවමත් අමාත්‍යාංශ ලේකම්වරයා හඳුන්වන්නේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා කියාය. දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගණන් දෙන නිලධාරියාය. පාර්ලිමේන්තුවේ අනුමත කර විදේශ ආධාරවලින් කළත් ඒ සියල්ල නිලධාරින්ගේ වගකීමය.


රජයේ සේවකයාගේ මහ බලය පෙනුණේ සුනාමියට, රට මුහුදට ගිය වකවානුවේය. වසරක ඇවෑමෙන් මුහුදුබඩ මහරේල් පාර හදා, එක මිනිහෙක් කුසගින්නේ නොතබා බෙහෙත්, කෑම දී රැක ගත්තේත් ලංකාවට ආ කෝටි ප්‍රකෝටි ගණන් ආධාර කළමනාකරණය කළේ රජයේ සේවකයාගේ මහිමයෙනි. මේතාක් රජයේ සේවය කළ නිලධාරියා විශ්‍රාම ගියේ විශ්‍රාම වැටුප අරගෙන දැහැමෙන් සෙමෙන් ජීවත් වෙන්නට පුළුවන්ය යන හැඟීමෙනි.


මේ සියලු විශ්වසනීය බැඳීම් දෙදරා ගොස් රජයේ සේවකයාගේ මනසේ බියකරු හැඟීම් දලු ලන්නට වූයේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව බිඳ වැටුණ 2015 සිටය. දෙදහස් පහළොවට කලින් මහා යුද්ධයට සූදානම්ව රජයේ තීන්දු තීරණ ගන්නා ඉහළ නිලධාරින් කැඳවූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ‘බය නැතිව රට වෙනුවෙන් තීන්දු ගන්න, නිලධාරින්ව අපි ආරක්ෂා කරගන්නවා’ යැයි පොරොන්දු වූයේය. ආණ්ඩු පරාද වූ විට රාජ්‍ය නිලධාරින් පස්සේ පන්නන සම්ප්‍රදායක් ඒ වන විටත් අත්දැක නොතිබූ බැවින් රාජ්‍ය නිලධාරින් අතදිගහැර වැඩ කළෝය.


අධිවේගී මාර්ග ද, රටේම කොන්ක්‍රීට් පාරවල්ද හදා සර් එඩ්වඩ් බාන්ස්ගෙන් පසු මාර්ග විප්ලවය රජයේ නිලධාරින් කළේ විශ්වාසයෙනි. දෙදහස් පහළොවේ ජනවාරි අටවැනිදා මහින්ද රාජපක්ෂ ගෙදර යැවූ යහපාලන ආණ්ඩුව එෆ්.සී.අයි.ඩී.ය පිහිටු වූයේය. රජයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සිල් රෙදි බෙදීමට මුදල් වෙන් කිරීමේ වරදට මාංචුලා සිරගෙට ගෙනයන දා සිට රජයේ නිලධාරින්ගේ සිත් තුළ බිය පහළ විය. ඊට පසුව ඔහු නිදොස් කොට නිදහස් කෙරිණ. 1804 නෝර්ත්ගේ සිවිල් සේවය පිහිටුවා ගෙවුණ කාලය තුළ ඇති වූ මැලේරියා, කොළරා, මහාමාරිය, පළමු ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධ කාලවලවත් නොතිබූ මහා බියක් රාජ්‍ය සේවයේ තීන්දු තීරණ ගත් නිලධාරින් අතර පැතිර ගියේය. රජයේ ඉහළ නිලධාරීහු ගෙදරට රා.සේ.පී. ලියුමක් එන විටත්, රජයේ දුරකථන අංකයකින් ජංගම දුරකථනය නාද වන විටත් බියපත් වූහ. රජයේ නිලධාරියාට රාජකාරි කරන විට අභිමතය නම් නියමයක් තිබිණ. එය තවදුරටත් පිහිටකොටගත හැකි පන්සිල් පදයක් නොවන බව රජයේ සේවකයාට වැටහී ගියේය. ආණ්ඩුවේ උත්සවවලට නැටුම්, ගැයුම් ඉදිරිපත් කළ, රට පතළ නර්තන කණ්ඩායම්වල මහ නළුවන්ද, භික්ෂූන්ද එෆ්.සී.අයි.ඩී.යට කැඳවිණ. මහා ජාතික ව්‍යාපාර බිහි කිරීමටට තීන්දු ගන්නවා තබා ගංවතුරක් ගැලූවිට බත් පැකට්ටුවක් අරන් දෙන්න ඉදිරිපත් වෙන්න ගමේ සිටි ග්‍රාම නිලධාරියාද ආපදාවට ලක් වූවන්ට බත් මුලක් අරන් දුන්නේ ගංවතුරට ගසාගෙන යනවා නම් මීට හොඳ යැයි සිතමිනි. මහ ආපදා ඇවිත් රට ගංවතුරෙන් යටවන විට, නාය යනවිට රජයේ නිලධාරින් මැදිහත් නොවූයේ එදා සිටය.


හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් දීමට එන විට හොරා... අඩෝ හෝරා..., තෝ යනවාදැයි අසමින් දූෂණ විරෝධී සංගමයක සාමාජිකයකු නඩු වැටෙන්නත් කලින් මහ මගදීම ඒ නිලධාරියා අපරාධකාරයකු කළේය. ටයිකෝට් අඳින නිලධාරින් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට ගෙනත් ප්‍රශ්න කරනු මාධ්‍යයේ ප්‍රදර්ශනය කරන විට හෙළුවෙන් යන්නට වුණේ ඔවුන්ගේ දූ දරුවන්ටය. රාජ්‍ය නිලධාරින් වැඩ නොකර බයේ ඉන්නවා යැයි අද දොස් කියන විපක්ෂයේ උදවිය රාජ්‍ය නිලධාරීන් හොරු සමග හෙලුවෙන් නාටකයේ චරිත බවට පත්කරන්නට පටන් ගත්තේ යහපාලනය ආණ්ඩුව පිහිට වූ දා සිටය.


රටේ ප්‍රධානම රාජ්‍ය නිලධාරින්ගේ විදේශ ගමන් බලපත්‍ර දැන් තියෙන්නේ උසාවි භාරයේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලේකම්වරයා දැන් ඉන්නේ ඇප පිටය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයකුද, හිටපු පොලිස්පතිවරයකුද දැන් වසර 200ක සිර දිඬුවම් විඳින්නෝය. රෝගී සිරකරුවන් පරීක්ෂාකර බන්ධනාගාර රෝහලට නියම කරන වෛද්‍ය නිලධාරියා ඊළඟ දවසේ උසාවියට කැඳවන්නට ඉඩ තිබේ.


දැන් රජයේ නිලධාරින් ලවා පාර හදන්නට, ඇළවේළි හදන්නට, රට හදන්නට අයවැයෙන් රුපියල් බිලියන 2000 ක් වෙන්කර ඇත. ගිය වසරේ ඒ සඳහා වෙන් කළ ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1380 කි. එයින් මේ වන විටත් වියදම්කර ඇත්තේ සියයට දහඅටකි. දිට්වාවෙන් අසරණ වූවන්ට රුපියල් බිලියන 500 ක් වෙන් කළත් ඉන් වැයකර ඇත්තේ සියයට අටය. අද ටෙන්ඩර් කමිටුවලට ඉඳ ගන්නට එන රජයේ නිලධාරින් වෙත්නම් ඒ විදුලි පුටුවේ ඉඳගන්නට වුව බය නැත්තෝය.


මෙවර වෙන්කර ඇති බිලියන 2000 වියදම් කරන්නට ‘අයියණ්ඩිය බිය නොවන්න - මැරෙන හැටි මම පෙන්වන්නම්’ කියා කියන්නට පුළුවන් මද්දුම බණ්ඩාර කෙනෙක් සොයා ගන්නට සහෝදර ආණ්ඩුවට සිදුව ඇත්තේය.

 

More News..