brand logo
logo
නීති විරෝධීව රැගෙන ආ ඖෂධ සහ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

නීති විරෝධීව රැගෙන ආ ඖෂධ සහ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

11 July 2026


නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ ඖෂධ සහ බීඩි කොළ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. 


ඒ, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය සහ තම්බපණ්ණි ආයතනය විසින් කල්පිටිය කීරිමුන්දලම වෙරළ ප්‍රදේශයේ සහ හලාවත කරුකපනේ ප්‍රදේශය ආශ්‍රීතව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීය.


එහිදී ලඳු කැලෑවක සඟවා තිබූ සැකකටයුතු පාර්සලයක් පරීක්‍ෂාවට කර ඇති අතර එහිදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද ඖෂධ පෙති හැත්තෑ එක්දහස් නවසිය හැටක පමණ තොගයක් සොයාගෙන ඇත.


මේ අතර හලාවත කරුකපනේ ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබේ. 


එහිදී ලඳු කැලෑවක සඟවා තිබූ සැකකටයුතු පාර්සල් දහයක් පරීක්‍ෂාවට ලක්කෙරුණු අතර, එහිදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එනලද බීඩි කොළ කිලෝග්‍රෑම් 401ක පමණ තොගයක් නාවික හමුදාව විසින් සොයා ගැනීමට කටයුතු කෙරුණි. 

 

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදාව විසින් සොයා ගන්නා ලද ඖෂධ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත සහ බීඩි කොළ තොගය හලාවත සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දුන්න බව නාවික හමුදාව නිවේදනය කළේය.


 

More News..