brand logo
logo
යුරෝපයේ හෙම්බිරිස්සාව අපට නිව්මෝනියාවක් වෙයිද ?

යුරෝපයේ හෙම්බිරිස්සාව අපට නිව්මෝනියාවක් වෙයිද ?

28 October 2026


ප්‍රංශයේ තරුණ පිරිස් රටේ අධ්‍යාපන ප්‍රශ්න මුල්කරගෙන පාරට බැසීම දැන් පරණ කතාවක් වුවද මේ රටේ අපටත් එය කතා නොකර බැරි හේතු තිබේ. පාසල් හා විශ්ව විද්‍යාලවල ගුරුවරුන් හිඟවීම, පන්තිවල ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ යෑම හා මූලික පහසුකම් අඩුවීම ප්‍රංශ තරුණ පිරිස්වලට තිබූ ප්‍රශ්නයි. ඊළඟ සති කීපයේදී එය එරටින් බටහිර යුරෝපීය රටවල් ගණනාවකටම බෝවුණේය.


අනතුරුව ප්‍රංශය, ඉතාලිය, බෙල්ජියම, ස්පාඤ්ඤය, පෘතුගාලය, ඇල්බේනියාව හා ග්‍රීසිය යන රටවල ද තරුණ නැගිටීම් හටගත්තේය. මාධ්‍ය වාර්තා කළ අන්දමින් එය එකම රැල්ලක් යැයි ඒ දකින කෙනකුට සිතෙන්නට පුළුවන. ඇත්ත කතාව නම් ඒ එබඳු සංවිධානාත්මක හා සම්බන්ධීකරණයක් සහිත එකක් නොවූ බවය.


රටවල් සියල්ලේම පාහේ ඇතිවූ තරුණ නැගිටීම්වලට පාදක වූ පොදු ප්‍රශ්න තිබුණු බව නම් සැබෑය. එමෙන්ම ජීවන වියදම අධිකවීම මේ හැමතැනම කැරලිවලට බලපෑවේය. එහෙත් ඇතැම් රටක ප්‍රධාන ප්‍රශ්නය අධ්‍යාපන ගැටලු වෙද්දී සමහර රටවල එය නිවාස ප්‍රශ්නද වෙනත් රටවලදී ඒ රටේ සිදුවන වංචා, දූෂණද විය.


තරුණ කැරලි සිදුවූ ඇතැම් රටවලදී මේ නැගිටීම් සිදුකළේ සංක්‍රමණිකයන් විසින් බව පැහැදිලිවම පෙනී ගියේය. සංක්‍රමණික ආගමනයට සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටවල්ද මේ තත්ත්වයට මුහුණපෑම විශේෂයෙන් කැපී පෙනුණේය. ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එය හාස්‍යයට ලක්කරමින් කියා සිටියේ වඳින්න ගිය දේවාලය ඔවුන්ගේ හිසේ කඩාවැටුණු බවයි .


අපේ රටවල තරුණ පිරිස් ආර්ථික ප්‍රශ්න නිසා සංක්‍රමණයවීම සඳහා පෙරුම් පුරන බටහිර රටවලද ජීවන වියදම කරණ කොට ගෙන ඒ රටවල තරුණ පිරිස් පාරට බසිති. සශ්‍රීක හැටියට සලකනු ලබන රටවලටත් ජීවන වියදම මේතරම් තදින් බලපාන්නේ නම් අපේ කලාපයේ රටවල තත්ත්වය ගැන අමුතුවෙන් කතා කළ යුතු නොවේ. මෑතකදී ජාත්‍යන්තර සංවිධානවලින් කෙරුණු සමීක්ෂණවලින්ද ඒ ගැන හෙළිදරව් වී තිබේ.


ලෝක කම්කරු සංවිධානය මගින් ඒකපුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 200 ට වැඩි ලෝකයේ රටවල් 130 ක් අතර වැටුප් පිළිබඳ කරනු ලැබූ සමීක්ෂණයකදී හෙළි වූයේ ලෝකයේ අඩු වැටුප් ලැබෙන රටවල් අතරින් ශ්‍රී ලංකාව සිටින්නේ 120 වැනි තැන බවය. එය සාක් කලාපයේ රටවල් අතරින් සිටින්නේ පහළම තැනය. වෙනත් වචනවලින් කියන්නේ නම් සාක් කලාපයේ අඩුම වැටුප් ගෙවන රට ශ්‍රී ලංකාවයි.


එපමණක්ද නොවේ. ද්විතීයික අධ්‍යාපනයක් ලැබූ පිරිස් අතරින් වැඩිම දෙනෙක් රැකියා විරහිතව සිටින්නේ අපේ රටේය. එය ගණනින් සියයට 43 කි.


අප මෙසේ වාර්තා පිහිටුවන තවත් ක්ෂේත්‍ර ගණනාවක් තිබේ. අධික විදුලි ගාස්තු ඉන් එකකි. දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තු අයකරන්නේ අපේ රටයි.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් තල්ලු කරගෙන යතත් ආණ්ඩුවේ නායකයෝ රටේ ආර්ථිකය ගැන කොතෙකුත් පුරසාරම් දොඩති. ඒ මේ ආණ්ඩුව පැමිණීමෙන් පසු රටේ භාණ්ඩාගාරය පිරී ඉතිරී ගොස් ඇති සැටි ගැනය. එහෙත් ඒ පෙර නොවූ විරූ පරිද්දෙන් බදු අයකරමින් බව නම් ඔවුන් කියන්නේ නැත.


ආණ්ඩුවේ හිතවත්තු පවා රටේ ජීවන වියදම ඉතා අධික බව පිළිගනිති. ජීවන වියදම දරා ගත නොහැකි මට්ටමට ඉහළ යෑම රටේ කැලඹිලිවලට ඉඩ පාදන බව කවුරුත් නොදන්නා කාරණයක් නොවේ. අපේ රටේම එය විටින් විට සිද්ධවී තිබේ.


1953 දී හාල් සේරුව ශත විසිපහේ සිට ශත හැත්තෑව දක්වා ඉහළ දැමීම නිසා හර්තාලයක් ඇතිවූ අතර එවකට රටේ නායකයා වූ ඩඩ්ලි සේනානායකට තනතුරෙන් ඉවත්වී ගෙදර යන්නට සිදුවූයේය. 1970-77 කාලයේ රටේ තිබූ ආර්ථික අහේනිය නිසා රට්ටුන්ට පටි තදකරගෙන ජීවත්වන්නට සිදුවූ අතර 1977 දී ශ්‍රීලනිප ආණ්ඩුව අන්ත පරාජයකට පත්වූයේ ඒ හේතුවෙනි. 2022 දී රට බංකොලොත් වූ අවස්ථාවේද ආණ්ඩුවට විරුද්ධව අරගලයක් ඇතිවූ අතර එහි ප්‍රතිඵලයක් හැටියට ජනාධිපතිවරයාටද සිය තනතුරෙන් ඉල්ලා අස්වන්නට සිදුවිය.


ස්වයං මෝහනයට පත්වී සිටින ආණ්ඩුව එය දනී දැයි අපි නොදනිමු.

 

More News..