Best News Website award
brand logo
logo
රු.ලක්ෂ 180ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

රු.ලක්ෂ 180ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

19 November 2026


පුත්තලම, පාලවිය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් කලක සිට ක්‍රියාත්මක වන බව කියන සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමක ප්‍රධාන සැකකරුවකු රුපියල් ලක්ෂ 180 කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑමයක් සමඟ තිල්අඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.


ඒ පුත්තලම විෂ මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරී විසිනි.


මාස කිහිපයක් පුරා ඉතා සූක්ෂම ලෙස සිදුකළ රහසිගත විමර්ශන හා නිරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා පාලවිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතම සහායකයකු බවට පොලිසිය සැක කරයි.


පොලිසියට ලැබුණු තොරතුරු ඔස්සේ සිදුකළ විමර්ශනවලදී සැකකරුගේ ක්‍රියාකාරකම් පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ අවධානය යොමු කර ඇති අතර,ඔහු මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී තිල්අඩිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.


එහිදී සැකකරු සන්තකයේ තිබූ බව කියන අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑමයක පමණ තොගයක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.


පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති තොරතුරු අනුව, මෙම සැකකරු පාලවිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවෙකුගේ සමීපතම සහායකයකු ලෙස කටයුතු කර ඇති බවය.


මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බවට තොරතුරු ලැබී ඇති අතර, ඔහුගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වූ බව කියන මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයකට අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධ වී ඇති බවට පොලිසිය සැක පහල කරයි.


මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පාලවිය ප්‍රදේශයට පමණක් සීමා නොවී පුත්තලම හා ඒ අවට ප්‍රදේශ ගණනාවක් දක්වා ව්‍යාප්ත වී ඇති බවට ද පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.


අත්අඩංගුවට පත් සැකකරු මාස හයකට වැඩි කාලයක් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව කටයුතු කර ඇති බවට ද විමර්ශනවලදී කරුණු හෙළිවී ඇත.


මෙතරම් විශාල මත්ද්‍රව්‍ය තොගයක් සැකකරු වෙත ලැබුණු ආකාරය, එම මත්ද්‍රව්‍ය බෙදාහැරීමට සැලසුම් කර තිබූ ප්‍රදේශ සහ ජාවාරමට සම්බන්ධ සෙසු පුද්ගලයන් පිළිබඳව තොරතුරු අනාවරණය කරගැනීම සඳහා පොලිසිය විමර්ශන පුළුල් කර තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් භාරයේ රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන අතර, ඔහු අද (19) පුත්තලම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

More News..