Best News Website award
brand logo
logo
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමත් අවදානමක

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමත් අවදානමක

19 November 2026


ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ රාවල්පිණ්ඩි හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඊයේ (18 වැනිදා) නිමාවට පත් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 74ක් රැස් කරගෙන සිටියේය. මෙම ඉනිමේදීත් පළමු ඉනිමේ මෙන්ම ශ්‍රී ලංකා මුල් පෙළ අසාර්ථකත්වය කැපී පෙනුණි.


දිනය ආරම්භ වන විට කඩුලු 3ක් දැවී ලකුණු 121ක් රැස් කරගෙන සිටි පාකිස්තාන කණ්ඩායම සිය ඉනිම ලකුණු 325ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වූ අතර, එහිදී පාකිස්තාන පසු පෙළ පිතිකරුවන්ගේ දායකත්වය කැපී පෙනුණි. අර්ධ ශතකලාභී කඩුලු රකින ක්‍රීඩක ගාසි ගෝරි ලකුණු 54ක් රැස් කරමින් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා බවට පත් වූයේය. ළහිරු කුමාර සිය ටෙස්ට් දිවියේ දෙවැනි හොඳම පන්දු යැවීම සටහන් කරමින් කඩුලු 5ක් දවාගත් අතර අසිත ප්‍රනාන්දු කඩුලු 3කට හිමිකම් කීවේය.


පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 227ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා පිතිකරුවෝ පිතිකරණයට වඩා පාකිස්තාන වේගපන්දුවෙන් බේරීමේ අදිටනින් ක්‍රීඩා කරන බවක් ආරම්භයේ සිටම දිස්වූ අතර, ඉනිමේ පළමු කඩුලු 3ම ලකුණු 39කදී දවාගැනීමට එය පාකිස්තාන පන්දු යවන්නන්ට මනා පිටිවහලක් විය. තම 37 වැනි උපන් දිනයේදීම ලකුණු නොලබා දැවී යාමට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන දිනේශ් චන්දිමාල්ට සිදුවද්දී, කමිඳු මෙන්ඩිස් ලකුණු 16ක් සහ ලහිරු උදාර ලකුනු 7ක් රැස් කළහ. දිනය නිමාවන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ධනංජය ද සිල්වා ලකුණු 24ක් සහ පසිඳු සූරියබණ්ඩාර ලකුණු 18ක් රැස් කරගෙන සිව්වැනි කඩුල්ලට ලකුණු 35ක නොබිඳුණු සබඳතාවක් ගොඩනගමින් ඉනිමට ස්ථාවරත්වයක් ගෙන ඒමට සමත් විය.


මේ වන විට පාකිස්තානයට වඩා ලකුණු 153ක් පිටුපසින් සිටින ශ්‍රී ලංකාව අද (19 වැනිදා) පෙරවරු 10 සිට නැවත සිය පිතිකරණය දියත් කිරීමට නියමිතය.

 

More News..