brand logo
logo
සුළු වර්ෂාවකදීත් යටවෙන මීගමුව කොටුව පාර

සුළු වර්ෂාවකදීත් යටවෙන මීගමුව කොටුව පාර

21 September 2026 | රේමන් අපෝන්සු - මීගමුව


මීගමුව කොටුව ක්‍රීඩාංගනය ඉදිරිපිට පිහිටි ප්‍රධාන මාර්ග පද්ධතිය සුළු වර්ෂාපතනයකදී පවා ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගය භාවිතා කරන මහජනතාව, පාසල් දරුවන් සහ ක්‍රීඩකයන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.


මෙම මාර්ගය මීගමුව නගරයේ පරිපාලන, අධ්‍යාපන සහ සංචාරක කලාප යා කරන ප්‍රධාන සන්ධිස්ථානයක් වන අතර අධිකරණ සංකීර්ණය, පොලිස් ස්ථානය, ප්‍රධාන විද්‍යාල කිහිපයක්, තානායම් සහ මීගමුව වෙරළ තීරයට ගමන් ගන්නා ජනතාව දිනපතා මෙම මාර්ගය භාවිතා කරති.


එසේම, සතියේ සෑම බදාදා දිනකම ක්‍රියාත්මක වන ප්‍රසිද්ධ සති පොළ පැවැත්වෙන භූමිය පිහිටා තිබෙන්නේ ද මෙම ස්ථානය අසල බැවින් එදිනට විශාල පාරිභෝගිකයන් සංඛ්‍යාවක් මෙහි පැමිණෙති.


කොටුව ක්‍රීඩාංගනය වෙත පුහුණුවීම් සහ ව්‍යායාම සඳහා පැමිණෙන ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට ද මෙම ජල ගැලීම් නිසා විශාල බාධාවක් එල්ල වී ඇත.


ප්‍රදේශයේ විධිමත් කානු පද්ධතියක් නොමැතිකම හෝ පවතින අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධති දීර්ඝ කාලයකින් පිරිසිදු කර නොතිබීම මෙයට ප්‍රධාන හේතුව වී ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. 


මෙම තත්ත්වය පිළිබඳව වහා අවධානය යොමු කර මාර්ගයේ කානු පද්ධතිය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ජනතාව මීගමුව මහ නගර සභාවෙන් සහ වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 

More News..