brand logo
logo
සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත තරග වාර්තා 23ක්

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත තරග වාර්තා 23ක්

21 October 2026

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධාන කරන 40 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කේ.එම්.කේ. දිල්ශාන් ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස රිහන්සා හිරුපමා ද ඊයේ (20 වැනිදා) සම්මානයට පත් වූහ. එසේම එහි සමස්ත බාලක ශූරතාව වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලත්, බාලිකා ශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලත් හිමිකරගත්හ.


වයස අවුරුදු 20න් පහළ පිරිමි මීටර 110 කඩුලු මතින් දිවීම ඉසව්ව තත්පර 14.02කින් නිම කරමින් ලකුණු 1062ක් හිමිකරගත් රත්නපුර ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ කේ.එම්.කේ. දිල්ශාන් දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන හිමිකර ගනිද්දී, එම වයස් කාණ්ඩයේම බාලිකා මීටර 200 ඉසව්ව තත්පර 24.23කින් නිම කරමින් ලකුණු 1026ක් ලබාගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ රිහන්සා හිරුපමා මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූවාය. ඔවුන් දෙදෙනාම වයස අවුරුදු 20න් පහළ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට ද පත් වූහ.


එසේම තරගාවලියේ සමස්ත බාලක ශූරතාව හිමිකර ගැනීමට මුළු ලකුණු 118ක් ලබාගත් වෙන්නප්පුව ජෝසප් වාස් විදුහල සමත් වද්දී, සමස්ත බාලිකා ශූරතාව ලකුණු 215ක් ලබාගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය. සමස්ත බාලක අනුශූරතාව ලකුණු 95ක් රැස් කළ තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලයටත්, බාලිකා අනුශූරතාව මුළු ලකුණු 70ක් රැස් කළ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයටත් හිමිවුණි.


මෙහිදී තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව තරග වාර්තා 6ක් පිහිටුවන ලද අතර, ඒ අනුව මෙම තරගාව්ලියේ පිහිටුවනු ලැබූ නව තරග වාර්තා සංඛ්‍යාව 23ක් බවට පත් විය. ඒ අතර වයස අවුරුදු 18න් පහළ බාලක මීටර 300 දිවීම ඉසව්වේ නව තරග වාර්තාව තමන් සතු කර ගැනීමට එම ඉසව්ව මිනිත්තු 8 තත්පර 58.50කින් නිම කළ වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයේ එස්.ආර්. රාජපක්ෂ සමත් වූ අතර වයස අවුරුදු 20න් පහළ පිරිමි යගුලිය දැමීමේ ඉසව්වේ නව තරග වාර්තාව මීටර 17.30ක දුරක් වාර්තා කළ ජෝසප් වාස් විදුහලේ හේශර ජයසිංහ සමත් වූයේය. තවද වයස අවුරුදු 18න් පහළ තුන් පිම්ම බාලිකා ඉසව්වේ නව තරග වාර්තාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඩී.එන්. රාජපක්ෂ සමත් වූයේ මීටර 12.73ක දක්ෂතාවක් දක්වමිනි.


එසේම වයස අවුරුදු 20න් පහළ බාලිකා කාණ්ඩයේ මීටර 400 කඩුලු මතින් දිවීම නව තරග වාර්තාව මිනිත්තු 1 තත්පර 1.57කින් තරගය නිම් කළ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ අභිමානි කොඩිතුවක්කු සමත්වද්දී, එම කාණ්ඩයේම කවපෙත්ත විසිකිරීම ඉසව්වේ නව තරග වාර්තාව මීටර 41.82ක දක්ෂතාවක් වාර්තා කළ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ කේ.කේ. බාලසූරිය සමත් වූවාය. තවද එම කාණ්ඩයේ මීටර 100 සහය දිවීම ඉසව්වේ නව තරග වාර්තාව තත්පර 47.45කින් තරගය නිම කළ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් පිහිටුවීය.


තරගාවලියේ සම්මාන ප්‍රදාන උළෙල අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 

More News..