හාල් එනවිට නත්තල පනීවි
30 November 2024 | සාලිය කුමාර ගුණසේකර
හාල් එනවිට නත්තල පනීවි
30 November 2024 | සාලිය කුමාර ගුණසේකර
රජයේ මැදිහත් වීමෙන් ආනයනය කිරීමට සැලසුම් කර ඇති සහල් තොග මෙරටට ලැබෙන විට නත්තල් සමයද පසුවනු ඇතැයි ආහාර ආනයනකරුවෝ පවසති. ආනයනය කිරීමට තමන්ට අවස්ථාව දෙන්නේ නම් සති දෙකකට අඩු කාලයකදී සහල් තොග මෙරටට ගෙන ආ හැකි බවද ඔවුහු පවසති.
සහල් ආනයනය සඳහා ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට අවස්ථාව දෙන ලෙස රජයෙන් ඉල්ලීම් කර ඇතත් ඊට මෙතෙක් නිසි ප්‍රතිචාරයක් දක්වා නැතැයිද පැවසේ. මේ හේතුව මත පිටකොටුව ඇතුළු සහල් වෙළෙඳපොළේ උග්‍ර සහල් හිඟයක් පවතින බව ද අනාවරණය වේ. සහල් අර්බුදයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමැතිය දුන්නේය. සතොස සහ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මගින් ජාත්‍යන්තර ලංසු කැඳවා මෙම සහල් ආනයනය කිරීමට කටයුතු යොදා ඇත.
කෙසේ නමුත් මෙම සහල් තොගවලට අදාළ සාම්පල මෙරටට ලැබීමට සති දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි අනාවරණය වේ. මෙම තත්ත්වය මත ඉන්දියාවෙන් නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක තොගය මෙරටට ලැබීමේදී දෙසැම්බර් මස අග වනු ඇතැයි පැවැසේ. මේ නිසා උත්සව සමයේ දී සහල් හිඟය වඩාත් උත්සන්න වීමේ අවදානමක් පවතී.
මහ කන්නයේ වී අස්වනු ලබන වසරේ (2025) ජනවාරි මාසයේ මැද සිට නෙළීමට නියමිත අතර එම කාලය තුළදී ආනයනික සහල් තොග බෙදාහැරීම නිසා වී මිල අඩුවීමේ අවදානමක් පවතින බව ගොවීහු කියා සිටිති. සෑම වසරකම මහ කන්නයේ අස්වනු නෙළීමේ දී සහල් ආනයනය කරන බවත්, මහා පරිමාණ වී මෝල් හිමියන් මහ කන්නයේ වී තොග අඩු මිලකට සූරාකන බවත් ගොවීහු පවසති. කෙසේ නමුත් අධික වැසි තත්ත්වය නිසා කුඹුරුවලට සිදුවී තිබෙන හානි හේතුවෙන් මහ කන්නයේ වී අස්වනු අඩුවීමේ අවදානමක් පවතින බව කෘෂිකර්ම අංශ සඳහන් කරයි. කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න පසුගියදා කියා සිටියේ වැසි තත්ත්වය හේතුවෙන් කුඹුරු අක්කර 5000කට පමණ හානි සිදුවී තිබෙන බවය.
මේ අතර අධික වැසි තත්ත්වයත් සමග ප්‍රධාන වශයෙන් වී වගා කරන ලද දිස්ත්‍රික්කවල කුඹුරු ඉඩම් රැසක් ජලයෙන් යටවී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අම්පාර දිස්ත්‍රික්කයේ සමස්ත කුඹුරු ඉඩම්වලින් සියයට 90ක් ද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත කුඹුරු ඉඩම්වලින් සියයට 75ක් ද ජලයෙන් යටවී තිබේ. වව්නියාව, යාපනය ආදී දිස්ත්‍රික්කවල සම්පූර්ණයෙන්ම කුඹුරු ඉඩම් ජලයෙන් යටවී තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ අබේරත්න පැවැසීය.
ජලය බැස යන තුරු මහ කන්නයේ වී වගා කරන ලද කුඹුරුවලින් කොපමණ ප්‍රමාණයකට හානි වී ඇත්දැයි තක්සේරු කිරීමට නොහැකි බව ද ඔහු කීවේය. පසුගිය දින කීපය තුළ වී වපුරන ලද කුඹුරු ජල ගැල්මෙන් හානියට පත්වන බවත්, ඊට හේතුව අධික ජලය නිසා බිත්තර වී කුණුවීම බවත් කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.