brand logo
logo
රටපුරා EPF නොගෙවන ආයතන 23,000 ක්

රටපුරා EPF නොගෙවන ආයතන 23,000 ක්

24 August 2025 | නිලන්ත මදුරාවල

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ලියාපදිංචි නොවී සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ETF පමණක් ලියාපදිංචිව සිටින ආයතන සංඛ්‍යාව මේ වන විට විසිතුන්දහසකට ආසන්න යැයි කම්කරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


පසුගිය වසර අවසානය වන විට මෙම සේවායෝජකයන්ගෙන් සේවා නියුක්තියන්ගේ භාර අරමුදලට ලැබී තිබූ දායක මුදල රුපියල් පනස්කෝටි පනස්ලක්ෂයකි. මෙම ආයතන සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි නොවන්නේ සේවකයන් වෙනුවෙන් වැඩි මුදලක් දායක මුදල් ලෙස ගෙවීමට වන හෙයින් යැයිද ඉහත ආරංචි මාර්ග පැවසීය. සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයට බැර කෙරෙන්නේ සේවක වැටුපෙන් අය කරන සියයට තුනක ප්‍රතිශතය පමණක් වන අතර ඒ සඳහා සේවායෝජකයන්ගෙන් කිසිදු මුදලක් නොයෙදවේ.


පසුගිය වසර අවසානය වන විට එලෙස ලියාපදිංචි නොවූ ආයතන සංඛ්‍යාව විසිදෙදහස් හත්සිය හැට හතරක් බව ජාතික විගණන කාර්යාලය කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ඒ අතරින් සේවකයන් දහයක් දක්වා සේවය කරන ආයතන ජාතික විගණන විසි දෙදහස් දෙසීය හතළිස් හයක් වන අතර ආයතන පන්සිය දහඅටක සේවකයන් 10 ත් - 254ත් අතර සංඛ්‍යාවක් සේවය කරති.


වසර ගණනක් තිස්සේ පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවදානය යොමු කර සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වීම පැහැර හැර සිටින සේවා යෝජකයන් හඳුනාගෙන ලියාපදිංචි කරගැනීමේ නිසි වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවට ජාතික විගණන කාර්යාලය සේවක අර්ථසාධක අරමුදලට චෝදනා කර ඇත.

 

More News..