පොලිසියේ නිල ඇඳුම ගැලවේ
21 November 2026
පොලිසියේ නිල ඇඳුම ගැලවේ
21 November 2026
‘පිත්තල බොත්තම් ඇල්ලූ කාකි සූට් එක’ යනුවෙන් කී විට අපට මතක් වන්නේ පොලිස් නිලධාරියෙකි. ඒ, දශක ගණනාවක් පොලිස් නිලධාරීන් ඇඳි එම නිල ඇඳුම නොදරුවාගේ සිට මේ රටේ ඕනෑම අයෙක් හොඳින් හඳුනන නිසාය. මේ කාකි ඇඳුම ඇඳගෙන මගතොටේ රාජකාරි කිරීම අපහසු බව කලක් තිස්සේ පොලිසිය පැත්තෙන් නැගෙන මැසිවිල්ලකි. ඒ අඳෝනාව මෙවර අයවැය යෝජනාවටද ඇතුළත් වී ඇත්තේය. ජනාධිපති අයවැය කතාවේදී කීවේ පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කරන බවය. මේ, ඒ ගැන ලිපිය ලියන්නේ වසර හතළිහක් කාකි නිල ඇඳුම ඇඳ ඉසිඹු ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිය.
ශ්‍රී ලංකාවේ පොලිස් සේවාවක් බිහිකිරීමේ ගෞරවය හිමිවන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ටය. ඒ 1796 වර්ෂයේ ඔවුන් ශ්‍රී ලංකාව සිය යටත් විජිතයක් බවට පත් කර ගැනීමෙන් පසුවය. හිටපු ඕලන්ද ආණ්ඩුකාරයාගේ ඥාති සොහොයුරකු වූ‘පෙඩ්රික් මයිල්ස් බැරන්ස්’ ගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ආශ්‍රිතව මුර සේවාවක් ලෙස ප්‍රථම පොලිස් සේවාව ඇරඹිණි. එහෙත් මුල් යුගයේ පොලිස් සේවාවේ නිලධාරීන් සඳහා නිශ්චිත නිල ඇඳුමක් දී ඇති බව පොලිස් ඉතිහාසයේ පැහැදිලිව සඳහන්ව නැත.
1805 අංක 14 දරන රෙගුලාසි මගින් ඒ වන විටත් බ්‍රිතාන්‍ය පාලනයට නතුව තිබූ මුහුදුබඩ පළාත්වල ග්‍රාමීය ප්‍රදේශයන්හි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ‘පොලිස් විදානේ’ තනතුර පිහිටුවා ඇත. නිල ලේඛනයන්ට අනුව පොලිස් විදානේ තනතුර සඳහා මඩකලපු සරමට උඩින් පලඳින කාකි පැහැති කබාය හරහා වැටුණු බ්‍රිතාන්‍යයේ ලාංඡනය සහිත බාපනය සහිත නිල ඇඳුමක් දී තිබේ. මෙම නිල ඇඳුමට බඳ පටියක්ද අයත් විය. නිලධාරියාගේ ආරක්ෂාව සඳහා මුගුරක් සහ කිරිච්චියක්ද අතිරේකව නිල ඇඳුමට එක් කර තිබී ඇත. මේ අනුව ප්‍රථම පොලිස් නිල ඇඳුම ලෙස ඉතිහාසයට එක් වන්නේ පොලිස් විදානේ තනතුරට දී ඇති මෙම නිල ඇඳුමයි.
පොලිස් විදානේ තනතුරට අමතරව 1848 පමණ වන විට බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවැති ප්‍රදේශයන්හි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධාරීහු වැඩි වශයෙන් බඳවා ගත්හ. මේ අනුව පොලිස් නිලධාරීන් සඳහා නිශ්චිත නිල ඇඳුමක් දී ඇත්තේ 1848දීය. මෙම නිල ඇඳුම බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් සම්ප්‍රදායට අනුව තද නිල් පැහැති ‘සර්ච්’ රෙද්දෙන් නිමවා තිබිණි. දිග කලිසමත් කරපිය වූ කෝට් එක ඉණට බැඳුණු බ්‍රිතාන්‍යයේ ලාංඡනයක බඳපටිය සහ බොත්තම්වලින් ද සමන්විතව ඇත. ප්‍රථම වතාවට පොලිස් නිලධාරීන් සඳහා නිල අංකයක් දෙන්නේ මෙම නිල ඇඳුම හඳුන්වාදීමත් සමගය. නිල ඇඳුමේ පපුව ප්‍රදේශයේ දකුණු පැත්තේ එම නිල අංකය පැලදීමත් ප්‍රථම වතාවට පොලිස් නිලධාරීන් සඳහා පාවහන් දී ඇත්තේ මෙම නිල ඇඳුම හඳුන්වා දීමත් සමගය. මෙම නිල ඇඳුම 1848 සිට 1864 දක්වා වසර 16 ක් පැවතී ඇත.
පොලිස් නිල ඇඳුමේ තෙවන විකාශය වූයේ 1864 වර්ෂයේදීය. මේ සඳහා මුල්වී ඇත්තේ උතුවන්කන්දේ සරදියෙල් අත්අඩංගුවට ගැනීමට මුල් වූ බ්‍රිතාන්‍ය ජාතික රාජ්‍ය නිලධාරියකු වූ එෆ්.ආර්. සෝන්ඩර්ස්ය. ප්‍රථම වතාවට පොලිස් නිලධාරීන් සඳහා කාකි පැහැයට හුරු නිල ඇඳුමක් දී ඇත්තේ මේ අවස්ථාවේදීය. මෙම නිල ඇඳුමට කාකි පැහැති දිග කලිසම කරපිය වූ කමිසය සහ කාකි පැහැයෙන්ම නිර්මාණය කරන ලද කැප්තොප්පියක් සහ බ්‍රිතාන්‍ය ලාංඡනය සහිත බඳ පටිය සහ බොත්තම්ද ඇතුළත් වී තිබිණි. විශේෂත්වයක් වී ඇත්තේ කමිසය කලිසමට යටකර ඇඳීමය. පොලිස් ඉතිහාසය තුළ ඉතාමත් කෙටි කලක් පැවැති නිල ඇඳුම ලෙස මෙම නිල ඇඳුම ප්‍රකට වී තිබේ. එහි ආයු කාලය වසර දෙකකට පමණක් සීමා විය.
1866 වර්ෂය ලංකාව පොලිසියේ සංවිධානාත්මක යුගය ආරම්භයත් සමගම ප්‍රථම පොලිස්පති ධුරයට පත් වූ ශ්‍රීමත් රොබට් විලියම් කැම්බල් නව නිල ඇඳුමක් හඳුන්වා දුන්නේ පොලිස් නිල ඇඳුමේ සිව්වැනි විකාශය ලෙසය. ඔහු ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසියේ නිල ඇඳුමේ ආභාසය අනුව යමින්ය. 1848 යළිත් වරක් හඳුන්වා දුන් තද නිල් පැහැ සර්ච් රෙද්දෙන් නිර්මාණය කෙරුණු නිල ඇඳුමට වඩාත් සමීප නිල ඇඳුමක් පොලිස් නිලධාරීන් සඳහා දී ඇත. මෙම නිල ඇඳුම් දෙකෙහි එකම වෙනස ලෙස දැක්විය හැක්කේ 1848 හඳුන්වා දුන් නිල ඇඳුමට කැප් තොප්පියක් ඇතුළත්ව තිබූ නමුත් 1864 හඳුන්වා දුන් නිල ඇඳුමට ඇතුළත්ව ඇත්තේ රෙදිවලින් නිර්මාණය කරන ලද මැලේ ජාතිකයන් පලඳින ආකාරයේ හිස් වැස්මක් වීමත් එතෙක් කබායේ පැලඳි නිල අංකය නව නිල ඇඳුමේ හිස්වැස්මේ පැලඳීමත්ය.
1925 වර්ෂයේදී මෙතෙක් පොලිස් ඉතිහාසය දීර්ඝතම කාලයක් පොලිස්පති ධුරයේ කටයුතු කිරීමේ වාර්තාවට උරුමකම් කියන ශ්‍රීමත් හර්බර්ඩ් ලෙයාර්ඩ් ඩව්බිගින්ගේ කාලසීමාව තුළ පොලිස් නිල ඇඳුමේ පස්වන විකාශය සිදුව ඇත. 1866 සිට 1925 දක්වා වසර 59 ක් වැනි දීර්ඝ කාලයක් පුරා පැවැති නිල ඇඳුම වෙනුවට 1925 හඳුන්වා දී නැවත හඳුන්වා දී ඇත්තේ කාකි පැහැති නිල ඇඳුමකි. මෙම නිල ඇඳුම දණහිස දක්වා සැකසුණු කාකි පැහැයෙන් යුත් කොට කලිසමකි. මෙම කලිසම එකල පොලිස් නිලධාරීන් අතර ප්රකටව ඇත්තේ ‘බම්බු කලිසම’ ලෙසය. කාකි පැහැති කබාය, ඉණ වටා පැලදී බඳ පටිය සහ ‘ස්ලව් චැට්’ නමින් හැඳින්වූ කාකි කොළ පැහැයට හුරු වර්ණයෙන් නිර්මාණය කරන ලද තොප්පිය මෙම ඇඳුමට ඇතුළත්ව ඇත. මෙම නිල ඇඳුමේ දෙපයේ පැලඳි පාවහන්වලට අමතරව විළුඹේ සිට දණහිස දක්වා මේස් වෙනුවට පොලිස් නිලධාරීහු කළු පැහැති පටි ඔතාගෙන රාජකාරි කළහ. වසර විසි දෙකක් පුරා පැවැති මෙම නිලඇඳුම වෙනස් වූයේ 1947 වර්ෂයේදීය.
1947 වර්ෂයේ ප්‍රථම ලාංකේය පොලිස්පති ලෙස පත්වූ ශ්‍රීමත් රිචඩ් අළුවිහාරේගේ මග පෙන්වීම අනුව 1925 හඳුන්වාදී තිබූ ‘බම්බු කලිසම’ වෙනුවට දණහිසට අඟල් කීපයක් උඩින් සිටින ලෙස සකස් කරන ලද කොට කලිසමක්. සහ කරපිය වූ කබායක්ද. ඉණ වටා පැලඳි බඳපටිය සහ එතෙක් මේස් වෙනුවට පැලඳි පටි ක්‍රමය ඉවත් කර ඒ වෙනුවට තද නිල් පැහැති මේස් දෙන ලදි. පොලිස් නිලධාරීන් සම්බන්ධ බොහෝ පැරණි ඡායාරූපවල මෙම නිල ඇඳුම අදටත් දැක ගත හැක. 1925 හඳුන්වා දුන් නිල ඇඳුම පැලඳීමේ තිබූ අසීරුතාව සම්බන්ධව බහුතරයක් නිලධාරීන් විසින් කරන ලද පැමිණිලිවල ප්‍රතිඵලයක් ලෙස මෙම නිල ඇඳුම වෙනස් කර ඇති බව පොලිස් ඉතිහාසයේ සඳහන්ය.
පොලිස් නිල ඇඳුමේ හයවැනි විකාශය සිදුව ඇත්තේ 1974 වර්ෂය. ඒ සඳහා මුල්වී ඇත්තේ 1970 බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් යුත් සමගි පෙරමුණු රජයේ ආරක්ෂක සහ විදේශ කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය ලෙස පත්වූයේ ලක්ෂ්මන් ජයකොඩිය. එතෙක් පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම සමන්විතව තිබූ කොට කලිසම ඉවත් කර ඒ වෙනුවට දිග කලිසමක් දීමත්, කොට කලිසමට උඩින් පැලඳී ටියුනික් කබාය වෙනුවට කලිසමට යට කරන කමිසයකිනුත් මෙම නිල ඇඳුම සමන්විතව ඇත. 1974 සිට මේ දක්වා පුරා වසර 53 ක් පොලිස් නිලධාරීහු මෙම නිල ඇඳුම අඳිති. 1977 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ වේදිකාවේ පවා මෙම නිල ඇඳුම ගැන සඳහන්ව තිබේ. සමගි පෙරමුණේ දේශපාලනඥයන් ‘පොලිස් රාලහාමිලට දිග කලිසන් දුන්නේ අපේ ආණ්ඩුවයි’ යනුවෙන් පුරසාරම් දෙඩීමට හේතු වී ඇත්තේද මෙම නිල ඇඳුම හඳුන්වා දීමය.
ශ්‍රී ලංකා පොලිසියට කාන්තාවන් මුලින්ම බඳවා ගත්තේ 1953 වර්ෂයේදීය.
මුල් යුගයේ නිලධාරිනියන් සඳහා කාන්තාවන් අඳින සායට උඩින් පලඳින කබාය, කළු පැහැති මේස් සහ සපත්තු දී ඇත. මුල් යුගයේ මෙම නිල ඇඳුම අළු පැහැයෙන් යුක්තව සකස් කර තිබී ඇතත් 1964 වර්ෂයේදී එම නිල ඇඳුමේ පැහැය කාකි පැහැයට මාරු කර ඇත. මුල් යුගයේ නිලධාරියන්ගේ කබාය සායට උඩින් ඇඳ ඇති නමුත් හැත්තෑව දශකයේ අග භාගයේ සිට එය සායට යට කර කළු පැහැති බඳ පටියක් සහිතව ඇඳීම නිර්දේශ කර ඇත. 2010 වර්ෂයේ සිට නිලධාරිනියන් සඳහාද පිරිමි නිලධාරින් අඳින නිල ඇඳුමට සමාන ආකාරයේ දිග කලිසමක් සහ කලිසමට යට කරන කමිසයද කැප් තොප්පිය දුන්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වඩාත් තහවුරු කරමිණි.
මේ අනුව 1806 සිට මේ දක්වා පුරා වසර දෙසිය විස්සක් ඇතුළත හත් වතාවක් විකාශයට බඳුන් වී ඇති පොලිස් නිල ඇඳුම අටවන වතාවටත් වෙනස් කිරීමේ කාලය එළැඹී ඇති බව ඒ සම්බන්ධව දැනට වෙමින් පවතින කතිකාවන් අනුව පැහැදිලිය. බොහෝ විට අධිරාජ්‍යවාදී පාලකයන් සිය පාලන හස්තයන් සඳහා භාවිත කරන ලද නිලධාරීන් සඳහා කාකි පැහැති නිල ඇඳුම් දී තිබිණි. මේ අනුව පොලිස් නිලධාරීන්, රේගු නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්. වනජීවී නිලධාරීන්, සුරාබදු නිලධාරීන්, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පමණක් නොව හැට හැත්තෑව දශකයන්හි ලංගම බස් රථවල කොන්දොස්තරවරුන් සහ රියැදුරන්ට පවා දී තිබුණේ මෙම කාකි නිල ඇඳුමය. මුල් කාලේ ඉතා ගොරෝසු කාකි රෙද්දෙන් නිර්මාණය කෙරුණු මෙම නිල ඇඳුම් පසුකාලීනව නව තාක්ෂණය අනුව සිරුරට ඉතා සුමට ලෙස නිර්මාණය විය. කෙසේ නමුදු ලෝකයේ බොහෝ රටවල පොලිස් නිලධාරීන් සඳහා නිර්දේශව ඇත්තේ නිල් පැහැති නිල ඇඳුම්ය. අසල්වැසි ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල පවා ළා නිල් පැහයට හුරු කමිස භාවිත කෙරේ. එහෙත් ඉන්දියාවේ පවා තවම නිල ඇඳුමේ කලිසම සඳහා කාකි පැහැය භාවිත කරන බව පැහැදිලිය.
පොලිස් නිලධාරීන් සඳහා නව නිල ඇඳුමක් නිර්මාණය කිරීමේ කතිකාවක් පවතින මෙවැනි වකවානුවක. විශේෂයෙන්ම ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාවේ රාජකාරියෙහි නිරත වන පොලිස් නිලධාරින් සඳහා වඩාත් පහසු නිල ඇඳුමක් මෙන්ම එම නිල ඇඳුමට අදාළ උපකරණ ලෙස නව තාක්ෂණයෙන් යුත් උපකරණ ද දීමේ දැඩි අවශ්‍යතාවක් පවතී. විශේෂයෙන්ම නිල ඇඳුමේ පලඳින කැමරාව සන්නිවේදන උපකරණ පමණක් නොව ගිනි අවියට අමතරව තම ප්‍රතිවාදියාට සැර විදුලි සැරයක් එල්ල කළ හැකි විද්‍යුත් ප්‍රහාරක මුගුරු මෙන්ම ප්‍රතිවාදියා මොහොතකට අන්දමන්ද කළ හැකි ගම්මිරිස් වායු උපකරණ වලින්ද සමන්විත නිල ඇඳුම් පොලිස් නිලධාරීන්ට දිය යුතු කාලය දැන් එළැඹ ඇත.
දියුණු බටහිර රටවල් පමණක් ආසියානු කලාපයේ මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, තායිලන්තය සහ අසල්වැසි මාලදිවයින පවා දැනට මෙම තාක්ෂණයන් ගෙන් සමන්විත නිල ඇඳුම් පොලිස් නිලධාරීන් සඳහා භාවිත කරන බව පැහැදිලිය. එබැවින් පොලිස් නිල ඇඳුමේ වෙනස් කිරීමේ කතිකාවක් පවතින මෙවැනි වකවානුවක නිල ඇඳුමේ පැහැය වෙනස් කිරීමෙන් පමණක් ක්ෂේත්රයේ රාජකාරියේ නියුතු ශක්තිමත් පොලිස් නිලධාරියකු බිහිකළ නොහැක. හමුදා නිලධාරීන් මෙන් නොව පොලිස් නිලධාරින්ට බොහෝ විට රාජකාරි කිරීමට සිදුව ඇත්තේ තනිව හෝ නිලධාරීන් දෙදෙනකු ලෙසය. දැනට ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින අපරාධකරුවන්ගේ ම්ලේච්ඡත්වය සහ ඔවුනට එරෙහිව ක්‍රියාත්මක වන නිලධාරීන් අකර්මණ්‍යය කිරීම සඳහා ඔවුහු නව තාක්ෂණයෙන් සමන්විත විවිධ වර්ගයේ ගිනි අවි සහ උපකරණ භාවිතයට පෙලඹවී සිටිති. එබැවින් එවැනි ප්‍රතිවාදියකු මර්දනය කිරීම සඳහා එවැනි තාක්ෂණයන් සමග සටන් කළ හැකි ශක්තිමත් පොලිස් නිලධාරියකු බිහිකිරීමේ වගකීමද වර්තමාන පොලිස් බලධාරීන් සතුව පවතින බැවින් නිල ඇඳුමේ විකාශය සඳහා පැහැය සහ ස්වභාවයට අමතරව නව තාක්ෂණයෙන් යුත් උපකරණද ඇතුළත් කිරීමෙන් වඩාත් සාර්ථක පොලිස් නිලධාරියකු බිහිකිරීමේ සමාජ අවශ්‍යතාවයක්ද දැඩිව පවතින බව අවසාන වශයෙන් සඳහන් කරමි.


