brand logo
logo
වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම්වල නාවික හමුදා මෙහෙයුම් කටයුතු ආරක්‍ෂක නියෝජ්‍ය ඇමතිගේ නිරීක්‍ෂණයට

වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම්වල නාවික හමුදා මෙහෙයුම් කටයුතු ආරක්‍ෂක නියෝජ්‍ය ඇමතිගේ නිරීක්‍ෂණයට

21 October 2026

විදේශීය වෙළෙඳ නෞකාවල ආරක්ෂාව සඳහා ආරක්ෂක කණ්ඩායම් යොදවන පෞද්ගලික සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් පහසුකම් සැපයීමේ මෙහෙයුම් කටයුතු, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ විශේෂ නිරීක්‍ෂණයට ලක්විය.


ඊයේ (20) මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා ද සහභාගී විය.


එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස ගාල්ල පෙට්ටිගලවත්ත ප්‍රදේශයේ පිහිටි අවි හා උපාංග ගබඩා සංකීර්ණයේ කටයුතු නිරීක්ෂණය කරන ලදී.


ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් සමඟ ගිවිසුම්ගත වෙමින්, වෙළඳ නෞකා ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් කටයුතු ස්වාධීනව සිදුකිරීම 2025 ඔක්තෝබර් මස 03 වන දින ආරම්භ කරන ලදී.


එතැන් සිට ගතවූ වසරක කාලය තුළ නාවික හමුදාව විසින් සිදුකරන ලද සාර්ථක සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් මඟින් අමෙරිකානු ඩොලර් තිස් තුන් ලක්ෂ විසි දහසකට අධික විදේශීය විනිමය ආදායමක් ජාතික ආර්ථිකයට එක් කිරීමට සමත්ව ඇත.


ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මනා සැලසුමකින් යුතුව මෙම මෙහෙයුම් සිදු කෙරේ.

මේ වන විට දේශීය නියෝජිතයින් 10 දෙනෙකු මාර්ගයෙන් විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් 28ක් සඳහා අවශ්‍ය පහසුකම් සහ සේවාවන් ලබාදීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරයි.


මෙම නිරීක්ෂණ චාරිකාවේදී වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් කටයුතුවල නාවික හමුදා කාර්යභාරය සහ එහි ප්‍රගතිය පිළිබඳව අමාත්‍යවරයා සොයා බලන ලදී.


කෙටි කාලයක් තුළ විශාල මෙහෙයුම් සංඛ්‍යාවක් සාර්ථකව සිදුකරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට නාවික හමුදාව ලබාදුන් දායකත්වය ඇගයීමට ලක්කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඉදිරියටත් එම කටයුතු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

 

More News..