වනඅලි පලවා හැරීමේ මෙහෙයුමට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරයි
10 November 2025
වනඅලි පලවා හැරීමේ මෙහෙයුමට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරයි
10 November 2025
හම්බන්තොට අලි ඇතුන් රක්ෂිත කලාපය තුළට පලවා හැරීම සඳහා වනජීවී බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන මෙහෙයුම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කළේය.
විනිවිද පදනම විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.
මෙම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවට ගම්මානවල සැරිසරන අලි ඇතුන් හම්බන්තොට වන අලි රක්ෂිත කලාපය තුළට පලවා හැරීම සඳහා වනජීවී බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන මෙහෙයුම හේතුවෙන් අලි ඇතුන්ට විශාල පීඩාවක් සිදුවී ඇතැයි සඳහන් කළේය.
මෙම මෙහෙයුම සඳහා ගුවන් හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයින් 2000කට අධික පිරිසක් සහභාගී වී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි නීතිඥවරිය පැවසුවාය.
අලි ඇතුන් පලවා හැරීම සඳහා සිදුකරනු ලබන පිපිරවීම් හේතුවෙන් ඇතැම් අලි ඇතුන් තුවාල ලබා ඇති බව පෙන්වා දුන් නීතිඥවරිය පිපිරීම් හරහා අති විශාල ශබ්ද නිකුත් වීම හේතුවෙන් ගර්භණී තත්ත්වයෙන් පසු වන ඇතින්නියන් දැඩි ලෙස පීඩාවට පත්වන බවත් පෙන්වා දුනි.
එම නිසා පරිසර නීති රීතිවලට පටහැනිව සිදු කරනු ලබන මෙම මෙහෙයුම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම්කාර සංවිධානයට කිසිදු නීතිමය පදනමක් නොමැති බව තර්ක කළේය.
ඊට අමතරව මෙම ක්‍රියාව හේතුවෙන් අගතියට පත්වන පාර්ශව මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර නොමැති බවත් රජයේ නීතිඥවරයා පෙන්වා දුනි.
එමෙන්ම පෙත්සම්කාර සංවිධානය විසින් සිය පෙත්සම තුළින් එල්ල කර තිබෙන චෝදනා ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු ඔවුන් විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේය.
මෙම තත්ත්වය මත මෙම පෙත්සම පවත්වාගෙන යාමට සාධාරණ නීතිමය පදනමක් නොමැති බැවින් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අලි ඇතුන් ආරක්ෂා කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කරන ලෙස තම අධිකරණය විසින් රජයට මේ වනවිටත් නියෝගයක් නිකුත් කර තිබෙන බව පෙන්වා දුනි.
එම වැඩපිළිවෙල තුළ මෙම පෙත්සමේ සඳහන් කරුණු ද අවධානයට භාජනය වන බවත් අභියාචනාදිකරණයේ සභාපති විනිසුරුවරයා පැවසීය.
ඒ අනුව දෙපාර්ශ්ව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරු මඩුල්ල නිවේදනය කළහ.

