brand logo
logo
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට

18 August 2026

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.


අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවේ ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ දී මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.


පනත් කෙටුම්පතක ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් සතියකට පසු එය පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු අතර ඉන් පසු ඕනෑම අයෙකුට අධිකරණයට යෑමට සතියක කාලයක් හිමි වේ.


ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාග කර දින 3ත් 21ත් අතර කාලයේ දී සිය තීරණය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත දැනුම්දීම සිදුකරනු ලබයි.


22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ යනු ඇත.

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීම මඟින් මහාධිකරණ, දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා ඉහළ නැංවීමට නියමිතය.

මේ අතර මෙම පනත් කෙටුම්පත් දෙක පළමුවර කියවීම සඳහා ඉදිරිපත් කරන අද දිනයේ දී මේ සම්බන්ධයෙන් විරෝධතා මතු කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කර තිබේ.

ඊයේ (17) පස්වරුවේ රැස්වූ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

අදාළ පනත් කෙටුම්පත්වලට එරෙහිව පෙත්සම් ගොනුකිරීමට මෙන්ම එම පෙත්සම් විභාග කිරීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින විනිසුරුවරුන් 13දෙනාගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ඉල්ලීමක් කිරීමට ද යෝජනා වී තිබේ.


 

More News..