brand logo
logo
පාර්ලිමේන්තුවට බෝම්බ ගසා අදට අවුරුදු 39යි

පාර්ලිමේන්තුවට බෝම්බ ගසා අදට අවුරුදු 39යි

18 August 2026 | නිලැසි අයත්මා/ ටී.එච්.පමෝද් ලක්ෂාන්

ඟහරුවාදා දිනයක් වූ 1987 අගෝස්තු 18 වැනිදා පෙර සැලසුම් කර තිබු ලෙස ආණ්ඩු පක්ෂ රැස්වීම වෙනුවෙන් මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ අංක එක දරන කමිටු ශාලාවට උදෑසන 8.00 පමණ වන විට රැස්වී සිටියහ. ඒ ඉන්දු - ලංකා ගිවිසුම සහ ඊට අදාළ දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සභාවට ඉදිරිපත් කිරීම පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡාවට ය. රටේ පැවැති භීෂණකාරී තත්ත්වය මත එදින රට පුරාත් විශේෂයෙන් පාර්ලිමේන්තුව හා එහි අවටත් ආරක්‍ෂක නිලධාරීන් යොදවා තිබුණි. මේ අතරවාරයේ අදාළ රැස්වීම ක්‍රියාත්මක වෙමින් තිබුණි. 120 දෙනෙක් පමණ සභා ශාලාව තුළ වූහ.


රැස්වීම ඇරැඹුමේම ඝාතතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ජිනදාස වීරසිංහ සැමරීම සඳහා විනාඩි දෙකක නිහැඬියාවක් පැවැත්විණි. ඉන්දු - ලංකා ගිවිසුම සම්බන්ධ‍යන් රටේ උද්ගතව ඇති තත්ත්වයන් පිළිබඳ කථිකාව ක්‍රියාත්මක වෙමින් පැවැතිණි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මුලසුනේ සිටි​ෙය්ය. මෙම රැස්වීමේ ප්‍රධාන අසුන්වල අගමැති ආර්. ප්‍රේමදාස, ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඇම්. වින්සන්ට් පෙරේරා, රොනී ද මැල්, ඊ.එල්.බී. හුරුල්ලේ, මොන්ටේගු ජයවික්‍රම, ලලිත් ඇතුලත්මුදලි, යූ.බී. විජේකෝන් සහ කීර්ති අබේවික්‍රම ආදිහූ රැඳී සිටියහ.


රැස්වීමේදී ජනාධිපතිවරයා මැති ඇමැතිවරු අමතමින් සිටි අවස්ථාවේ එතුමාගේ වම්පසින් කිසිවකු විසින් එල්ල කළ බෝම්බයක් ජනාධිපතිවරයාගේ මේසය අසලදී වැටී පසෙකට විසිව ලලිත් ඇතුලත්මුදලිගේ පුටුව අසල පුපුරා ගියේය. රැස්වීම් ශාලාව කළු දුමාරයෙන් වැසුණු අතර ඒ සමගම එල්ලවූ තවත් බෝම්බයක් මාතර දිස්ත්‍රික් ඇමැති කීර්ති අබේවික්‍රම අසල පුපුරා ගියේය. එම අවස්ථාවේදී “අපි ඉවරයි හැමතැනම බෝම්බ බිම දිගාවෙයල්ලා” මෙසේ කියමින් ඝෝෂා කළ මන්ත්‍රිවරු එක පොදියට ශාලාවෙන් පිටවීමට උත්සාහ දැරූහ. ඒ වන විට මූලාසනයේ සිටි ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක හා ක්‍රීඩා ඇමැති වින්සන්ට් පෙරේරාත් බෝම්බ ප්‍රහාරයෙන් බේරීමට මේසය යටට රිංගාගෙන තිබුණි.


ජනාධිපතිවරයා මේසය යටට යැවුවේ අගමැති ප්‍රේමදාස විසිනි. පිපිරීම් හඬ නැවතුණ අතර, සභා ගර්භය තුළ ලේ ගලායමින් විනාශයක සුන්බුන් විසිර තිබුණි.


බෝම්බ ප්‍රහාරයෙන් එවකට ජාතික ආරක්ෂක අමාත්‍යවරයා වූ ලලිත් ඇතුලත්මුදලිගේ යටිකයට බරපතල තුවාල සිදුවූ අතර හදිසි දීර්ඝ ශල්‍යකර්මයකින් අමාත්‍යවරයා දිවි බේරා ගැනීමට සමත් විය. ඊ.එල්.බී. හුරුල්ලේ, ගාමිණී ජයසූරිය, මොන්ටේගු ජයවික්‍රම, සී.පී.ජේ. සෙනවිරත්න, පර්සි සමරවීර, ඩබ්ලිව.වී.එම්. දයානන්ද, ජී.එම්. ප්‍රේමචන්ද්‍ර, මෙරිල් කාරියවසම් ඇතුළු මැති ඇමතිවරු සහ පාර්ලිමේන්තු නිලධාරීහු විශාල පිරිසක් මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූහ.

මෙ අතර බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටි මාතර දිසා ඇමැති කීර්ති අබේවික්‍රම සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නෝබට් සේනාධීර කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කළ නමුත් ඔහුට යළි පාර්ලිමේන්තුවට තබාජීවතුන් අතරට පැමිණීමටවත් නොහැකි විය.


මෙරට දේශපාලනය පමණක් නොව රාජ්‍ය ආරක්ෂාවද තර්ජනයක් වූ පාර්ලිමේන්තුවට එල්ල කළ බෝම්බයේ ඉලක්කය වූයේ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාය. එයට හේතු වූයේ අත්සන් තැබීමට යෙදුනු ඉන්දු - ලංකා ගිවිසුමයි. ජනතාව මෙය දුටුවේ රට දෙකඩ කිරීම පිණිස ඉන්දියාවට අවසරය ලබාදීමක් ලෙසිනි. ඉන්දු - ලංකා ගිවිසුම අතසන් තැබීමට ප්‍රබල ලෙස විරුද්ධ වූයේ ජනතා විමුක්ති පෙරමුණ යි.


“ජනතා විමුක්ති පෙරමුණු ත්‍රස්තවාදීන් මීට වගකිව යුතුයි. සන්සුන් වන්න, මේ ප්‍රහාරය රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙත එල්ලවූ ප්‍රහාරයක්” යැයි සිදුවීමෙන් අනතුරුව දිවි බේරා ගත් ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන ජනතාවට පැවසීය.

මේ සමගින් මහජනයා සමග එක්ව සන්නද්ධ ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වූ ජනතා විමුක්ති පෙරමුණ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ලෙසින් වර්ධනය වී රටට ප්‍රබල බලපෑමක් කරන ව්‍යාපාරයක් ලෙසින් පෙනීසිටින්නට විය. ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ කළ අරගලයේ ප්‍රබලතම සිදුවීම වූයේ මෙම බෝම්බ ප්‍රහාරයයි.


ප්‍රහාරයෙන් පසු එකී ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය “ද්‍රෝහීනි අප තොපට බෝම්බ ගැසුවේ මේ නිසයි” යනුවෙන් පත්‍රිකාවක් නිකුත් කළේය. එමගින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා ගණනාවක් ඉදිරිපත් කරනු ලැබීය. එම පත්‍රිකාව මගින් ජීවත්වීමට ආසා ඇති සියලුම මන්ත්‍රින්ට තම ආසන වලින් ඉල්ලා අස් වී තම වැරැදි පාපොච්චාරණය කළ යුතු බවත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට එරෙහිව නැඟී සිටිය යුතු බවත් ප්‍රකාශ වී තිබිණි.

මෙම ප්‍රහාරය කොයිතරම් සැලසුම් සහගතව සිදුකළා ද යන්න අදටද විමතියකි. පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් ලබා දී තිබියදීත් එම බෝම්බය පාර්ලිමේන්තුව ඇතුළට රැගෙන විත් තිබේ. පාර්ලිමේන්තුවේ ආරක්ෂක විධිවිධාන එහිදී අභියෝගයට ලක් කර තිබේ.


පසුව පැවැති විමර්ශනවලදී අනාවරණය වූයේ පාර්ලිමේන්තුවට ආහාර සැපයු බාහිර සේවකයකු වූ අජිත් කුමාර නමැත්තකු විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බවයි. දින කිහිපයකට පෙර රහසිගතව බෝම්බය පාර්ලිමේන්තුවට ගෙනැවිත් සඟවා තබා නියමිත මොහොතේ ප්‍රහාරය එල්ල කර ඇති වූ කලබලය අතරේම මොහු පාර්ලිමේන්තුවෙන් ආරක්ෂිතව පලා යාමට සමත්වූ බැව් කියැවිණි.


මෙම සැකකරු සොයාදෙන්නකු හට රුපියල් මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බව රජය විසින් ප්‍රකාශ කෙරිණි. එවක රුපියල් මිලියනයක් යනු දැවැන්ත මුදලකි. එහෙත් ඔහු ගැන තොරතුරක් ලබාදුන් අයකු නොවීය.


එසේ වුවද පසුව ඔහු නාඋල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්විය. එහිදී ඔහු පොලිසියට හසුව තිබුණේ මෙම බෝම්බ සිද්ධියේ සැකකරු ලෙසින් නම් නොවේ. එහි ජලාශයක් ආශ්‍රිත දූපතක නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිසිය දැක පලායමින් සිටි ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ මැත්පැන් ජාවාරමේ යෙදී සිටි අයෙකු යැයි වරදවා වටහාගනිමිනි. නමුත් පසුව සිය අනන්‍යතාවය හෙළි කිරීමට නොහැකිවීම හේතුවෙන් පොලිසියට ගෙනැවිත් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී මේ පාර්ලිමෙන්තු බෝම්බ ප්‍රහාරය පිළිබඳ සිද්ධිය සම්බන්ධ‍යන් අවශ්‍යම වූ අජිත් කුමාර බව හඳුනාගත්තේය.


මේ අතර තවත් සිදුවීමක් විය. ඒ මෙම අහඹු හසුවීම තමන් සැලසුම් කර පාර්ලිමේන්තු බෝම්බයේ සැකකරු අත්අඩංගුවට ගැනීමක් ලෙසින් මවා පාමීන් රුපියල් මිලියනයක ත්‍යාගය ලබාගැනීමට පොලිසියේ ලොක්කකු කළ උත්සහයයි. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලදී සත්‍ය සිදුවීම හෙළිවීමෙන් එම පොලිස් නිලධාරියා දඬුවමට ලක්විය.

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ඉන් ඉවත්ව ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු වූ අජිත් කුමාර අත්අඩංගුවට ගනු ලැබූයේ ප්‍රහාර සිද්ධියෙන් මාස 8 කට පසුව 1988 අප්‍රේල් මාසයේදීය. රටේ විධායක ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඝාතතනය කිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා දහයක් ඔහු වෙත එල්ල විය.


අජිත් කුමාරට එරෙහිව නඩු විභාගයක් පැවැත්වුණි. නඩුවලදී අජිත් කුමාර වෙනුවෙන් පෙනී සිටියේ එකල ජ්‍යෙෂ්ඨ නීතිඥයකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රබලයකු වූ සුසිල් මුණසිංහ ය. විනිසුරු ආනන්ද ග්‍රේරු සියලු සැකකරුවන් නිදහස් කළේ පැමිණිල්ල විසින් සැකයෙන් තොරව නඩුව ඔප්පු කර නැති බව කියමිනි. නීතිපති මෙම තීන්දුවට එරෙහිව අභියාචනා කළ ද එයත් ප්‍රතික්ෂේප විය. නමුත් ආරක්ෂක අංශ ඔහු කෙරෙහි තිබූ සැකයෙන් ඔහු නිදහස් වූයේ නැත. ඉන් පසුව ආරක්ෂක අංශ විසින් අජිත් කුමාර පිළිබඳ පරීක්ෂණ ඔහු එවක සම්බන්ධකම් පැවති පිරිස් හරහා පවත්වන්නට විය. බෝම්බ ප්‍රහාරයෙන් වසර කීපයකට පසු දඹුල්ල ප්‍රදේශයේ ගොවිපොළක සැඟව සිටි අජිත් කුමාර යළි අත්අඩංගුවට පත්වුවද එවරද චෝදනා ඔප්පු කරගැනීමට නොහැකිව නිදහස් වූ බැව් කියැවේ.


මේ සා භීෂණකාරි තත්ත්වයන් පැවැතියදී වුවද ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඉන්දු - ලංකා ගිවිසුම හරහා පළාත් සභා පනත ඉදිරිපත් කිරීම නොනැවතුනි. රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඝාතනය කර හෝ ගිවිසුම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අරමුණින් ප්‍රහාරය සැලසුම් කර තිබුණද, 1987 නොවැම්බර් මස 14 වන දින දැඩි ආරක්‍ෂාව මැද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ 1987 අංක 42 දරණ පළාත් සභා පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදි.

 

More News..