brand logo
logo
  මත්ද්‍රව්‍ය අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීමට රටම එකට ජාතික සභාවේ අවධානය

මත්ද්‍රව්‍ය අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීමට රටම එකට ජාතික සභාවේ අවධානය

10 August 2026


මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම කෙරෙහි “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමුවී තිබේ. 


ඒ, එම මෙහෙයුම් සභාව අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි. 


විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට හුදු පුද්ගල සබඳතාවලින් ඔබ්බට යමින් සමස්ත ආර්ථික සහ සමාජ දේහයම බරපතළ තර්ජනයකට ලක් කර තිබීමත්, ඉන් නොනැවතී එම තත්ත්වය වර්ධනය වෙමින් තිබීමත් පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇත. 


මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා අසීමිත ධනය ආශ්‍රිතව ගොඩනැගී ඇති අපරාධමය පරිසරය මේ වන විට ජාතික ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට සහ සමාජ ආචාරධර්ම පද්ධතියට විශාල තර්ජනයක්ව පවතී.


මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ පිළිබඳව බිය වන සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.


සමස්ත සමාජ දේහයම බිඳ දමමින්, රටේ අනාගත පරපුර ගොදුරු කර ගනිමින් සිටින විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම වෙනුවෙන් රට තුළ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයක් සහ කඩිනම් මතවාදී පරිවර්තනයක් ඇති කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා ආගමික නායකයින්, දෙමාපියන් සහ ප්‍රජා සංවිධානවල සක්‍රීය දායකත්වය රජය අපේක්ෂා කරන බව සඳහන්ය.


මෙම ජාතික ව්‍යසනයේ ගැඹුර අවබෝධ කර ගනිමින් ආයතනික පද්ධතිය තුළ සිදු කළ යුතු පරිවර්තනය පිළිබඳවද එහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ. 


මත්ද්‍රව්‍ය පාලනය සහ ඇප ලබා දීමේ ක්‍රියාවලියට අදාළ නීති සංශෝධන දැනටමත් සකස් කර අවසන් අදියරේ පවතින අතර, එය කඩිනමින් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද සඳහන් කෙරිණි. 


මත්ද්‍රව්‍ය නඩු ප්‍රමාද වීමට හේතු වූ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සැලකිය යුතු ලෙස වේගවත් කර තිබෙන බවත්, පසුගිය ජූලි මාසයේදී පමණක් රස පරීක්ෂක වාර්තා 6,414ක් නිකුත් කර තිබෙන බවත් සඳහන් විය. 


රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය හේතුවෙන් බන්ධනාගාරගතව සිටින පිරිස්වලට අදාළ නීතිමය කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන්, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය අනුව (ග්‍රෑම් 5ට අඩු, 10ට අඩු ආදී වශයෙන්) නිශ්චිත දත්ත වර්ගීකරණයක් ඉදිරිපත් කරන ලෙසත්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පොලීසිය සහ බන්ධනාගාරය අතර මනා සම්බන්ධීකරණයක් ඇති කර, වාර්තා ලැබුණු සැණින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට විධිමත් ක්‍රියාවලියක් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. 


රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාව ඉහළ නැංවීමේ සහ එහි පහසුකම් පුළුල් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලූ අතර රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමේ කටයුතු සඳහා නාවික හමුදාවේ සහාය ලබා ගැනීම සිදු කෙරෙන බව සඳහන් කෙරිණි. 


ආරක්ෂිත කැමරා පද්ධතිය සවි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 

 

More News..