brand logo
logo
යහ පුවතක් සොයා ගෙවුන සතියක්

යහ පුවතක් සොයා ගෙවුන සතියක්

25 October 2026

‘‘අපි දැන් ප්‍රවෘත්ති බලන්නේ නෑ. ප්‍රවෘත්ති බලන්න බලන්න අපේ ජීවිතේ එපා වෙනවා. ප්‍රවෘත්ති බලන එක අපි අතෑරියා.’’


මේ මෑත කාලයේ නෙතට ප්‍රිය දසුනක්, කනට මිහිරි වදනක් මාධ්‍ය මගින් අසන්නට දකින්නට නොලැබුණ නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් මාධ්‍ය හමුවේ කියූ දෙයකි. උපයනවිට රජය අයකරන බද්දෙන් හෙවත් වැටුපෙන් අයකරන බද්දෙන් හෙම්බත්වද, ඩියුටි ප්‍රී වාහන බලපත්‍රය අහිමිවීමෙන්ද, දරුවන් උසස් අධ්‍යාපනය සඳහා රට යවා ගන්නට අවැසි මුදල් නැතිවද, සිතින් කයින් හෙම්බවත්ව ඉන්නා මේ මධ්‍යම පංතියේ උගතුන්ට සිතෙනවා ඇත්තේ අවම වශයෙන් රූපවාහිනිය සහ පත්තර ඔවුන්ගේ කනට මිහිර, ඇසට ප්‍රිය පුවත් සැපයිය යුතුය කියාය. නැතිනම් ඔවුන් සිතනවා ඇත්තේ මාධ්‍යකරුවා හිතාමතා ඔවුන් සතුටු කරන දේ විකාශනය නොකර, නොලියා මගහරින බවය. ඒ නිසා ලියන්නට හොඳ දේ තිබියදී ඒවා මාධ්‍යකරුවන්ගෙන් මගහැරී ගියේ දැයි සතියක දෑ සම්මා සතියෙන් යුතුව ආවර්ජනය කිරීම යහපතැයි අපි සිතූවෙමු.


ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර සිපිරි ගෙයිදී ගලවා සුදු වතක් අන්දා තිබීමට විරෝධය පාමින් නුවර සිට කොළඹට ආ භික්ෂු පා ගමන කලින් සතියේ සිකුරාදා වන විට නතර වී තිබිණ. එය ආණ්ඩුවකට එරෙහිව තුන් නිකායම භික්ෂුන් පෙළපාළියක් ගිය පළමු වතාව වූ අතර නුවර සිට කොළඹට පා ගමන ආ භික්ෂුන් නතර වූයේ ජනාධිපති කාර්යාලය ඉදිරියේය.


සිකුරාදා උදේ භික්ෂුන්ගේ භාෂාවෙන් අරුණ නැගෙද්දීම ඥානසාර හාමුදුරුවන් වෙනුවෙන් පා ගමනේ ආ භික්ෂුන් ඇතුළු 54 දෙනකුට ජනාධිපති කාර්යාල බිම තහනම් ප්‍රදේශයක් බවට උසාවියෙන් ගත් නියෝගයක් පොලිසියෙන් දැනුම් දුන්නේය. හීල් දානය වලඳනකොටම එය රට දැනගෙන තිබිණ. ජනාධිපති කාර්යාලය ඉදිරිපිට බිම තහනම් කර තිබුණේ කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි ඇතුළු භික්ෂුන් සහ ගිහි ප්‍රභූන් පිරිසකටය. ඒ නිසාම සිකුරාදා දහවල් වනවිට භික්ෂුන් විහාරමහාදේවි උද්‍යානයේ බුදුපිළිමය ඉදිරිපිටට මහ වැසි මැද්දේම රැස් වූහ. මහ වැස්සේ අජපල් රුක මුල තෙමෙන බුදුහාමුදුරුවන් බේරා ගන්නට මුචලින්ද නාගරාජයා බුදු සිරසට පෙණ ගොබය ඇල්ලූවත් පොලිසියට එදා උණු වුණේ නැත. වැස්සෙන් බේරෙන්නට භික්ෂූන් ඉසිලූ මහ කුඩ පවා උදුරා වීසි කරනු ප්‍රචාරය කරන්නට යෙදිණ. සමස්ත බෞද්ධ ජනතාවට බලපාන ඒ සිද්ධිය හැර වෙන සම්මත දෙයක් එදා වුණේ නැත. එදා රාත්‍රි අට වෙද්දී වනය එකළු කළ ජනමන පොබයූ කාවන්තිස්ස ඇතා වෙඩි වැදුණු තුවාලවලට වේදනාවෙන් සති ගණනක් ඉවස ඉවසා හිඳ මළ බව වාර්තා වූයේය. කලට වේලාවට රටට වැසි වස්සන වෙස්සන්තර රජ්ජුරුවන්ගේ ඇලි ඇතා දන් දුන් දවසේ දඹදිව ඇති වූ කලහයටත් වඩා කලහයක් එදා රැයේ සිදුවිය. සමාජ මාධ්‍යයේ කොටනවා හැර බලයක් නැති මිනිස් කැලක් මහා කුහුඹු රැලක් ඇත්කුණ වටා රොක්වන පරිද්දෙන් ලක්ෂ ගණනක් රොක්වී ජනාධිපති කාර්යාලයේ පෝස්ටුවකට එරෙහිව ලක්ෂ ගණනින් බැණ වදින්නට වූහ. එබඳු මාධ්‍ය දායකත්වයක් මෑතක නොවූ විරූය. ඊළඟ දවසේ වුණේ සුබ දෙයකි. ඊළඟ සෙනසුරාදාවත් හොඳක් වෙතැයි අපි සිතුවෙමු.


සෙනසුරාදා පුවත්පත් කලාවේදීන්, ඇඳෙන් නැගිට්ටේ මුළුමනින්ම විදුලිය විසන්ධි වූ රටකටය. දහවල් වනතුරු විසන්ධි වූයේ ඇයිදැයි නොකී බැවින් ට්‍රාන්ස්ෆෝමරයකට වඳුරු පිම්මක් පැන්නා දැයි සොයන්න වූවෙත් මාධ්‍යකරුවන්ටය. විදුලි උත්පාදක යන්ත්‍ර නැති අති බහුතර මධ්‍යම පංතිකයාට එදා මාධ්‍යවේදීන්ට දෙන්නට තිබුණ රහ දැනෙන පුවත කුමක්ද? දෙවියන් වහන්සේ දින හතකින් ලෝකය මවා හත්වැනි දිනය සබත් දිනය වශයෙන් නම්කොට නිවාඩු ගත්තෙන් දෙවියන්ද නිවාඩු ගත් ඉරිදා පුවත් හැදෙන්නේ අඩුවෙනි.


සඳුදා උදාවිය. සඳුදා උදෙන්ම රටට දැනගැනීමට සැලසුණේ ආණ්ඩුව විසින් තම දිනපොතේ යොදාගෙන තිබූ පුවතකි. ඒ නාමල් රාජපක්ෂගේ පුද්ගලික ලේකම්ගේ ගෙට රාත්‍රියේ කඩා පැන්න පොලිසිය ඒ ගෙය පරීක්ෂා කර රහසිගත සේප්පුවක් පාන්දර යාමයේ රැගෙන ගියාය යන පුවතය. මූල්‍ය වංචාවකට බන්ධනාගාරයේ ඉන්නා තැනැත්තකුගේ ලේකම්ගේ ගෙදරින් සැකකටයුතු සේප්පුවක් සොයාගෙන තිබෙන විට එය වාර්තා නොකර ඉන්න මාධ්‍යයට බැරිය. පාරේ ගිය සිමෙන්ති ලොරියක් හතර දෙනකු හප්පා මරා දැමූ පුවත රාත්‍රි ප්‍රවෘත්තිවලට​ නොගෙන බැරිය. සිරිසඟබෝ රජ වුවත් වෙස්සන්තර රජ වුවත් මේවා නවතන්නට බැරිය. එහෙත් රජ්ජුරුවෝ ධාර්මිකව රජකම් කරන්නේ නම් විපත් වෙන්නේ නැති බව මේ ආණ්ඩුව විපක්ෂයේ ඉඳිද්දී චෝදනා කර තිබූ නිසා ආණ්ඩුවේ අධාර්මිකකම මනින්නට ජනතාව පෙලඹෙන්නේ මෙබඳු පුවත්වලිනි. එදාම සන්ධ්‍යාවේ සිට රට හතරකට බෙදා පැය බැගින් විදුලිය දින තුනක් කපන්නට ආණ්ඩුව තීරණය කළේය. අඟහරුවාදා උදේවත් සතුටුදායක පුවතක් මාධ්‍යයට ලැබුණේද? අලුයම කෙළ පිඬක් බිම හෙලන්නත් කලින් එදා උදේ හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහාචාර්යතුමා අල්ලස් දූෂණ විමර්ශන කොමිසමට කැඳවා ඇති බවද ඒ සමග, සමගි ජන බලවේගයට අයත් ප්‍රාදේශීය සභාවක් ආණ්ඩුව විසින් විසිරුවා හැරිය බව රජයෙන්ම වාර්තා කෙරිණ. දවස ගෙවී ගොස් සන්ධ්‍යාවේ මොරටුවේ හෝටල් හිමියකුට පාතාලයකු වෙඩි තබා ඇති බවත් සුවාරපොළදී තවත් මිනීමැරුමක් සිදුවූ වගත් වාර්තා විය. මේවා ජාතිය කලඹන ප්‍රධාන පුවත්දැයි කෙනකු අසනු නියතය. ‘‘පාතාලේ මඩින්න යන්නේ මාස දෙකයි. ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න බංකුවක් රැගෙන එන්න’’ යැයි වත්මන් ආණ්ඩුවේ ආරක්ෂක නියෝජ්‍ය ඇමැති එදා කියා තිබුණෙන් දවසේ වෙඩිල්ල කියා මාතෘකාවකින් පුවත් මවන්නට අවැසි උත්තේජනය ලබා දී තිබුණේ ආණ්ඩුවමය.


බදාදා ද අසුබ පුවත්වලින් ගැලවෙන්නට ආණ්ඩුව ඉඩ දුන්නේ නැත. චොකා මල්ලී හෙවත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය එදා උදෙන්ම ආවේය. සන්ධ්‍යාවේ ආණ්ඩුව දුන් පුවත වූයේ පාන් පිටි කිලෝව ඉහළ දැමූ බවය.


බ්‍රහස්පතින්දා වන විට මහවැසි වැටෙන්නට පටන්ගෙන තිබිණි. ජලාශවල වාන් දොරටු හරිනු, මහා මාර්ග වාරිමාර්ග වනු ජනතාව දෑසින් දැක තිබූ දේය. ඒ පුවත් ජනතාවගේ දෑස අභිමුව ස්වභාවයෙන්ම මැවුණුදේය.


මේ සතියේ වූ දේවල් අතරින් වැස්ස, වාහන අනතුරු හැර සියල්ල ආණ්ඩුව තමන්ම දිනපොතේ සටහන් කරගෙන තිබූ දේවල්ය. ආණ්ඩුවේ දිනපොත පිරී ඇත්තේ අත්අඩංගුවට ගැනීම්, ප්‍රශ්න කිරීම්, විදුලිය කැපීම්, බඩු මිල ඉහළ දැමීම්වලින් නම් ඒවා වාර්තා කරනවා විනා මාධ්‍යයට කළ හැක්කක් නොවේ. දැන් දැන් ගෑස් නැවක් වරායට ආ පුවතද මාධ්‍යයෙන් ඉහළින්ම වාර්තා කරයි. ඒ තරමේ හොඳ පුවතක්වත් මාධ්‍යයට ලැබෙන්නේ කලාතුරකිනි.

 

More News..