brand logo
logo
මම නිහඬ වුණා නොවේ මාව නිහඬ කළා

මම නිහඬ වුණා නොවේ මාව නිහඬ කළා

22 July 2026


සිනමාව සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නැතිවම බැරි කීපදෙනා අතර ඉදිරියෙන් සිටින රංගන ශිල්පිනියක් ලෙස දමිතා අබේරත්න හඳුන්වා දිය හැක. ඒ තරමට ඇය නිර්මාණාත්මකව ප්‍රේක්ෂකයන් ඇද බැඳ තබාගැනීමට සමත්ව තිබේ. මේ දිනවල තිරගත වන Room No.106 ඔස්සේ ද දමිතා දැකගැනීමට ලැබෙන්නේ එවන් විශිෂ්ට අභියෝගාත්මක රංගනයකිනි. මේ නිසාම කලකට පසුව දමිතා අබේරත්න පිනිපලසට සම්බන්ධ කරගැනීමට එය ප්‍රධාන හේතුව විය. මේ දිනවල කතාබහ කරන Room No.106 චිත්‍රපටයට ඇගේ රංගන දායකත්වයෙන් ලැබෙන ප්‍රතිචාරවලින්ම කතාව ආරම්භ කළා. මේ වන විට room no 106 චිත්‍රපටයට ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. පිටපත රංගන ශිල්පීන් ගැන විතරක් නොවෙයි එහි තාක්ෂණය ආදී සෑම දෙයක් ගැනම මේ දිනවල කතාබහ වෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයන් මේ චිත්‍රපටය ඉතාමත් කැමැත්තෙන් නරඹනවා.


අපි හැමෝම දන්නවා room no 106 කියන්නේ මෙරට සිදු වූ ආන්දෝලනයක් ඇති කළ සත්‍ය කතාවක්. ඒ වගේම මේ සිද්ධිය තවමත් සිදුවෙලා ඉවර නැහැ. මොකද මේ වනතුරුත් මේ සිද්ධියට සම්බන්ධ කාන්තාවගේ හිස හමුවෙලා නැහැ. ඒ වගේම මේ සිදුවීමට මුහුණ දුන් කාන්තාවගේ පවුලේ අය ජීවත් වෙනවා. ඒ අයටත් මේ සිද්ධිය තාමත් ආන්දෝලනාත්මකයි. ඒ මරණයට වගකිව යුතු පොලිස් නිලධාරියාගේ පවුලේ උදවිය ජීවත් වෙනවා. ඒ අයටත් මෙය තවමත් නොවිසඳුන ගැටලුවක්. මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ නොවිසඳුණු ගැටලුවක් ගැනයි.


මම මේ චිත්‍රපටය තුළ ප්‍රතිනිර්මාණය කරන්නේ අදත් හුස්ම ගන්න මිනීමරුවකු ලෙස ලේබල් කරපු පොලිස් නිලධාරියාගේ බිරිඳගේ චරිතය.


එම චරිතයේ තිබූ අභියෝගාත්මක බව පිළිබඳ පැවැසීමටත් ඇය අමතක කළේ නැහැ.

මේ චරිතය මට ලොකු අභියෝගයක් වුණා. මම මේ චරිතය කරන විට අවසානයේ දරුවන් සහ බිරියව අතහැරලා දාල යන දර්ශනය රූගත කරන්න පිටපත කියවලා සූදානම් වෙද්දි මම සුරංගගෙන් ඇහුවා ඇත්තට මේ වෙලාවේ මේ මනුස්සයට මොකක් හිතෙන්න ඇතිද කියලා. අම්මා කෙනෙක් බිරියක් ගැහැනියක් විදියට ඇය ඇගේ කුටුම්බය රැක ගන්න ගත්තු උත්සාහය එක මොහොතකින් විනාශ වෙලා යනවා කියලා දැනෙන ඒ මොහොත කොහොම ගෙවන්න ඇද්ද කියලා මට හිතුණා. ඒ නිසා තමයි මම සුරංගගෙන් ඒවගේ ප්‍රශ්නයක් ඇහුවේ. ඒ අවස්ථාවෙදි සුරංග දැන ගත්තා මම හිතින් ඒ සිද්ධිය ළඟට ගිහින් ඉවරයි කියලා. ඒ මොහොතෙදී සුරංග කිව්වේ මුකුත්ම හිතන්න ඕන නැහැ. ඒ බිරිය බවට ඔයා පත්වෙලා ඉවරයි. ඒ නිසා ඔයා ඔයාට දැනෙන දේ කරන්න කිව්වා.


ඒ විධානයත් සමග මේ දර්ශනයේ රූගත කිරීම් ආරම්භ වුණා. සුරංග ඇක්ෂන් කිව්වා. ඒ දර්ශනයට ඇක්ෂන් කිව්ව සුරංගට කට් කියන්න කල්පනා වුණේ නැහැ. ඩිරෙක්ටර් ඇක්ෂන් කිව්වම කට් කියනකම් අපි රඟපාන්න ඕන. ඒත් සුරංග එහෙම කට් කළේ නැහැ. කොතනින්ද දර්ශනය කට් කරන්නේ කියලා අපිට කල්පනා වුණෙත් නැහැ. ඒ වගේම අධ්‍යක්ෂවරයා කට් කියනකම් අපි රඟපාන්න ඕන. අපිට මොනවත්ම හිතාගන්න බැරුව ඒ සීන් එක සෑහෙන වෙලාවක් පටිගත වෙලා තිබුණා. අධ්‍යක්ෂවරයාට සහ රංගන ශිල්පීන් විදියට අපිට එහෙම වෙද්දී කැමරාව මෙහෙයවපු ප්‍රවීන් කියනවා මට කැමරාමන් කෙනෙක් කියා අමතක වුණා කියලා. ඒ වගේම තාක්ෂණික ශිල්පීන් ගල් වෙලා වගේ බලාගෙන ඉන්නවා.


මම එතන කෑගහලා අඬනවා. අන්තිමට කවුරු හරි පිටුපසින් ඇවිත් මාව බදා ගන්නවා මට දැනුණා. ඒ වෙන කවුරුවත් නොවෙයි සුරංග. ඒ වෙලාවේ තමයි සීන් එක ඉවරයි කියලා හැමෝම දැන ගත්තේ. ඒ රංගනය කොතරම් තාත්විකද කිව්වොත් ඒ වෙලාවේ සුරංගගේ ඇස්වලත් කඳුළු තිබුණා. චිත්‍රපටයේ ඒ සිදුවීම මගේ ජීවිතේ කවදාවත්ම අමතක වෙන්නේ නැහැ.


සත්‍ය සිදුවීම් ඇසුරෙන් කලා නිර්මාණයන් කරද්දී ජීවත්ව සිටින අයට සිදුවන බලපෑම පිළිබඳ ඇය මෙසේ පැවැසුවා.


සමහර අවස්ථාවලදි අපි සත්‍ය කතා ෂුටින් කළා. නිර්මාණ කරද්දී එක චරිතයක් විතරක් බොහොම සුබවාදීව ගෙන එනවා. වරද කළ කෙනා හොඳ කරන්න වගේම ඔහු කළු චරිතයක් කරන්නත් පුළුවන්. හැබැයි මේ චිත්‍රපටයේ එන එකම චරිතයකටවත් එහෙම කිසිම අසාධාරණයක් වෙලා නැහැ. මේ නිර්මාණය සඳහා සහභාගි වූ රංගන ශිල්පිනියක් විදියට මට ඒ ගැන ලොකු සතුටක් තිබෙනවා. සුරංග ද අල්විස් කියන්නේ මගේ හොඳ මිතුරෙක්. සුරංග එයාගේ ජීවිතය ගැන සැහැල්ලුවට හිතන කෙනෙක් වගේම මේ වෙන තෙක් ඔහු අතින් නිර්මාණය වුණේ වාණිජමය චිත්‍රපට. මීට පෙර ඔහු ප්‍රේක්ෂකාගාරයට ලබා දුන්නේ සරල රසවින්දනයක් තිබෙන නිර්මාණයන් පමණයි. එවැනි වාණිජමය සිනමාපට අධ්‍යක්ෂණය කළ සුරංගගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට මේ චිත්‍රපටය පත් වෙනවා. මේ සිනමාපටය හදන්න කලින් මේ කාරණාවට පාදක වූ දැනට ජීවත්ව සිටින සියලුම අය සමග සුරංග කතා කරලා තිබුණා. ඒ වගේම ඔහු පොරොන්දු වෙලා තිබුණා මෙම චිත්‍රපටය නිසා ජීවත්වෙලා ඉන්න කිසිම පුද්ගලයකුට හානියක් කරන්නේ නැහැ කියලා. ඒ පොරොන්දුව ඒ අයුරින්ම සුරංග ඉටු කරලා තිබෙනවා.

රට තුළ ඇතිවන ආන්දෝලනාත්මක මෙන්ම බොහෝදෙනා සංවේදී වන පුවත් වාර්තා කිරීමේදී රට තුළ පවතින අනෙක් මාධ්‍ය සියල්ල අබිබවා සමාජ මාධ්‍යයේ හැසිරීම පිළිබඳ ඇයට තිබුණේ මෙවන් කතිකාවතකි.


වර්තමානය වන විට සමාජය තුළ ඕනෑම සිදුවීමක් සමාජ ගත වූ සැනින් සමාජ මාධ්‍ය කියන සමස්ථ ජාලයම මේ රටේ නීතියත් ඔවුන්ට යටත් වගේ හැසිරෙනවා. ඒ හැසිරීම නිසා මේ රටට උදාවෙලා තිබෙන්නේ අවාසනාවන්ත තත්ත්වයක්. අපි කලාවට එද්දී මේ සෝෂල් මීඩියා කියල දෙයක් තිබුණේ නැහැ. අදත් චීනය වගේ දියුණු රටක සෝශල් මීඩියා නැහැ. තාක්ෂණය මිනිසුන්ගේ අතට පත්වීමෙන් මොකද වෙන්නේ කියලා ඒ අය දුරතියාම දැක්කා. එහෙත් ආසියාතික රටක් විදියට අපේ රටේ උගත් බුද්ධිමත් මිනිස්සු පවා සමාජ මාධ්‍යන්හි හැසිරෙන්නේ අතිශය කනගාටුදායක විදියට. ඒක තමයි අපට තිබෙන ලොකුම ප්‍රශ්නය මොකද මිනිසුන්ට සිදුවෙන ඕනම සිද්ධියකදී වෙලා තිබෙන්නේ එකක්. නමුත් සෝෂල් මීඩියා ඇතුළේ කියන්නේ වෙන එකක්. මේ ලෝකය දියුණු වෙන්න නම් තාක්ෂණය එක්ක අපි ඉදිරියට යන්න ඕන. ඒත් ඕනම සිදුවීමක් සමාජගත කරද්දී එම සිදුවීමට පැවැත්මක් සදාචාරයක් යම්කිසි නීති පද්ධතියක්, නියාමනයක් සමාජ මාධ්‍ය තුළ තොරතුරු බෙදාහැරීමේදී තිබෙන්න ඕන. එහෙම නැතිව සිදු වූ මේ සිද්ධිය නිසා ඔබට දැන් ජීවත් වීමේ අයිතියක් නැහැ කියන තත්ත්වයට පුද්ගලයකු පත් නොකළ යුතුයි කියන එක තමයි මගේ අදහස.


කෙටි කාලීනව කලා කටයුතුවලින් ඈත්වීමට සිදු වූ හේතුව පිළිබඳ ඇය අප සමග පැවැසුවා.


කලා කටයුතුවලින් මම නිහඬ වුණා නොවෙයි මාව නිහඬ කළා. අවුරුදු හතළිස් හතරක්‍ තිස්සේ මම කරපු කලාව මම ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබපු කලාව මොහොතකට පැත්තකින් තියලා දේශපාලනයට ගියා. ඒක මම කළ ලොකු වරදක්. මනුස්සයෙක් විදියට මගේ අතින් වරදක් වුණා කියලා කියන්න මම ලැජ්ජාවෙන්නේ නැහැ. කලාවට ඇවිත් මම අමාරුවෙන් හදාගත් නම දේශපාලනය නිසා විනාශ කර ගත්තා කියන පසුතැවීම මගේ හිතේ තිබෙනවා. අරගල භූමියට ගිය එක ගැන මගේ හිතේ වේදනාවක් නැහැ. ඒත් එතැනින් පසුව දේශපාලන වේදිකාවට ගොඩවීම ගැන ලොකු වේදනාවක් හිතේ තිබෙනවා. කලාකරුවන්හට දේශපාලන කරන මිනිස්සුන්ට වඩා ලොකු ආදරයක් ජනතාවගෙන් ලැබෙනවා. ඒ වගේම බලයකුත් තිබෙනවා. ඔවුන්ට පුළුවන් තම රංගන හැකියාව තුළින් බොහෝ පණිවුඩ සමාජ ගත කරන්න. ඒ නිසා ආයේ කිසිම දවසක මම දේශපාලනය කරන්නේ නැහැ.


මේ දිනවල ස්වර්ණවාහිනියෙන් විකාශය වෙන අමුතු කල්ලිය ටෙලිනාට්‍යයේ ඇයගේ රංගනය පිළිබඳ මෙසේ පැවැසුවා.


චාමර සමරවික්‍රම සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන් දෙදෙනාගේ ආරාධනාවෙන් මේ වන විට මම අමුතු කල්ලිය ටෙලිනාට්‍යයේ රඟපානවා. එහි මගේ චරිතය මනෝරි. මනෝරි කියන්නේ ගමේ කඩයක් කර ගෙන ජීවත්වෙන කෙනෙක්. ඇයගේ චරිතය හරි කලබලකාරීයි. ඒ වුණාට ගමේ හැමෝටම ආදරය කරන ඉතාමත් සංවේදී ගැහැනියක්. තමන්ගේ දරුවාගේ ජීවිතය සැපවත් කරන්න නිතරම හිතන ඒ වෙනුවෙන් මහන්සිවෙන දිරිය කාන්තාව විදියට මනෝරිව හඳුන්වන්න පුළුවන්. ඒ සඳහාත් මේ දිනවල සාර්ථක ප්‍රතිචාර ලැබෙනවා.


 චාමර සමරවික්‍රමට වගේම සුරංග අල්විස්ට මගේ කෘතවේදීත්වය පුදකරනවා. මම නැවතත් රඟපෑමට එකතුකරගෙන දමිතා අබේරත්න කියන චරිතයට මිනිස්සු එදා දුන්න ආදරය නැවතත් මට අරගෙන දුන්නට ඔවුන් දෙදෙනාගේ යාළුකමට එහා ගිය මනුස්සකමට නැවත වතාවක් ස්තූතියි කියලා කියනවා. මේ වන විට චාමරගේ අලුත් ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සඳහා සහභාගි වෙන්න සුදානමින් ඉන්නවා. ඒ වගේම තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තිබෙනවා. ඉදිරියේදී නව නිර්මාණ තුළින් රසිකයන් හමුවීමට බලාපොරොත්තු වෙන බවද කතාබහ අවසන් කරමින් ඇය පැවැසුවා. 

 

More News..