2029 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ සත්කාරකත්වය කෙන්යාවට
15 September 2026
2029 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ සත්කාරකත්වය කෙන්යාවට
15 September 2026
2029 වසරේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය (World Athletics Championships) සංවිධානය කිරීමේ අවස්ථාව දිනාගැනීමට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය අසමත් වී ඇති අතර, එම තරගකාරීත්වය ජය ගැනීමට කෙන්යාවේ නයිරෝබි (Nairobi) නගරය සමත්ව තිබේ.
මෙම තීරණයත් සමඟ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියක් අප්‍රිකානු මහාද්වීපයේදී පැවැත්වෙන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වනු ඇත.
හංගේරියාවේ බුඩාපෙස්ට් නගරයේ පැවති ලෝක මලල ක්‍රීඩා කවුන්සිල රැස්වීමේදී මෙම තීරණය නිල වශයෙන් තහවුරු කෙරිණි.
අප්‍රිකානු රටක ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර, නයිරෝබි නගරය ඉතා ආකර්ෂණීය හා ධානාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කළ බව ලෝක මලල ක්‍රීඩා සභාපති සෙබස්තියන් කෝ පැවසීය.
2012 ඔලිම්පික් උළෙල පැවති ලන්ඩන් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් ලන්ඩන් නගරය මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වුවද, බ්‍රිතාන්‍යයට එය අහිමි වීම දැඩි කලකිරිල්ලකට හේතු වී ඇති බව බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන විධායක ජැක් බක්නර් ප්‍රකාශ කළේය.
මෙම තරගාවලිය සඳහා තරග වැදුණු රෝම නගරයටද අවස්ථාව අහිමි වූ අතර, 2031 වසරේ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වීමේ සත්කාරකත්වය ජර්මනියේ මියුනිච් නගරයට හිමි විය.
2027 අප්‍රිකානු ජාතීන්ගේ කුසලානය (Afcon) වෙනුවෙන් මේ වන විට නයිරෝබි නගරයේ කාසරනි ක්‍රීඩාංගණය (Kasarani Stadium) නවීකරණය කරමින් පැවතීමද ඔවුන්ගේ සත්කාරක ඉල්ලුම්පත්‍රය තවත් ශක්තිමත් කිරීමට හේතු විය.
මීට අමතරව, මීළඟ ලෝක මලල ක්‍රීඩා ශූරතා ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය යන කලාපයන්හි අනුපිළිවෙළින් පවත්වමින් ගෝලීය වශයෙන් මලල ක්‍රීඩා ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ මෙහෙවර තවදුරටත් ක්‍රියාත්මක කරන බව ලෝක මලල ක්‍රීඩා සංවිධානය සඳහන් කරයි.

