රෝහල් පොලිස් සැරයන්ට පහර දී පලාගිය සැකකරු සොයා විමර්ශන
27 July 2026
රෝහල් පොලිස් සැරයන්ට පහර දී පලාගිය සැකකරු සොයා විමර්ශන
27 July 2026
හොරණ මූලික රෝහලේ රෝහල් පොලීසියේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයකුට පහරදී බරපතළ තුවාල සිදුකළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව හොරණ මූලස්ථාන පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, හොරණ මූලික රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිය පියා බැලීමට බීමතින් රෝහලට පැමිණි සැකකරු රෝහල් කාර්ය මණ්ඩලයට පරුෂ වචනයෙන් බැණ වැදී අශෝභන ලෙස හැසිරී ඇති බවයි.
එම අවස්ථාවේ රෝහලේ ආරක්ෂක නිලධාරිණියක විසින් ඔහුට රෝහල් පරිශ්‍රයෙන් පිටතට යන ලෙස දැනුම් දී තිබුණද, එය නොතකා රැඳී සිට ඇති බව පොලිසිය කියයි.
අනතුරුව ආරක්ෂක නිලධාරියෙකු ඔහු පිටතට යැවීමට උත්සාහ කිරීමේදී ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා රෝහල් පොලීසියේ පොලිස් සැරයන්වරයා මැදිහත් වූ අවස්ථාවේ සැකකරු ඔහුට පහරදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම සිද්ධියට පෙර සැකකරු සහ රෝහලේ වෛද්‍යවරයකු අතර බහින්බස්වීමක් ද ඇතිව තිබූ බවට තොරතුරු වාර්තා වන බව පොලීසිය සඳහන් කළේය.
පහරදීමෙන් පොලිස් සැරයන්වරයාගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇති අතර, ඔහු මේ වන විට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
එමෙන්ම රෝහලේ ආරක්ෂක නිලධාරියකුට සහ ආරක්ෂක නිලධාරිණියකට ද සැකකරු පහරදී ඇති බව පොලීසිය පවසයි.
අනතුරුව සැකකරු මෝටර් රථයකින් පලාගොස් ඇති අතර, එම අවස්ථාවේ රෝහලේ ආරක්ෂක නිලධාරිණියක විසින් සැකකරු පලාගිය මෝටර් රථයේ අංකය ඡායාරූපගත කර තිබීම හේතුවෙන් විමර්ශන සඳහා වැදගත් තොරතුරු ලැබී ඇති බව පොලීසිය සඳහන් කළේය.
සැකකරුගේ පියා සිද්ධිය වන අවස්ථාවේ හොරණ මූලික රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවද වාර්තා වේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වන අතර, හොරණ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්‍රම ගුණවර්ධන මහතාගේ උපදෙස් මත හොරණ මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

