brand logo
logo
දරුවන් තුළ ජීවිතයේ වටිනාකම් වර්ධනය කරන තැන පාසලයි - අගමැතිනිය

දරුවන් තුළ ජීවිතයේ වටිනාකම් වර්ධනය කරන තැන පාසලයි - අගමැතිනිය

31 October 2026


පාසල යනු විභාග සමත්වීම සඳහා පමණක් අධ්‍යාපනය ලබා දෙන ස්ථානයක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.


අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙනුයේ නායකත්වය, කණ්ඩායම් හැඟීම සහ ජීවිතයට වටිනාකම් දරුවන් තුළ වර්ධනය කරන වැදගත් ස්ථානය බවට පාසල පත්විය යුතු බවය.


ඊයේ (30) කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ විභාගවලින් ඉහළ ප්‍රතිඵල ලබාගන්නා දරුවන්ට පමණක් නොව ක්‍රීඩාව, කලාව සහ විෂය සමගාමී ක්‍රියාකාරකම් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හී දක්ෂතා දක්වන දරුවන්ගේ හැකියාවද හඳුනාගෙන ඒවා නිසි ඇගයීමට ලක් කිරීම වැදගත් වන බවය.


එහිදී විශේෂයෙන් උසස් පෙළ ශ්‍රේණිවල පිරිමි දරුවන් පාසල් අධ්‍යාපන පද්ධතියෙන් ක්‍රමයෙන් ගිලිහී යාම පිළිබඳ සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය එම තත්ත්වයට බලපාන හේතු පිළිබඳව ගැඹුරින් සොයා බැලීමේ අවශ්‍යතාවද අවධාරණය කළාය.


දරුවන්ට ආදරය, රැකවරණය සහ සමාජය තුළ සාර්ථකව ජීවත්වීමට අවශ්‍ය කුසලතා පාසල තුළින් ලබාදිය යුතු බවත්, ඒ සඳහා දරුවන් පාසල තුළ රඳවාගත හැකි ආකර්ෂණීය හා සහායක ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම පාසල් පද්ධතියේ වගකීමක් බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.


අද වන විට වේගයෙන් වෙනස් වන ලෝකයක දැනුම, තාක්ෂණය සහ රැකියා ක්ෂේත්‍රය දිනෙන් දින වෙනස් වන බැවින්, ජීවිතය යනු හුදෙක් පොතපතේ දැනුමට හෝ ඩිජිටල් උපාංගවලට පමණක් සීමා වූවක් නොවිය යුතු බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, ජීවිත කාලය පුරා ඉගෙන ගැනීමට සහ සමාජය නිවැරදිව තේරුම් ගැනීමට ඇති ශක්‍යතාවන් වර්ධනය කර නොගතහොත් , ඉදිරියේදී ලෝකය ජය ගැනීම දුෂ්කර වන බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

 

More News..