යතුරුපැදි අනතුරු දෙකකින් මිතුරන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
17 November 2026
යතුරුපැදි අනතුරු දෙකකින් මිතුරන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
17 November 2026
කුරුණෑගල සිට මාතලේ දෙසට යතුරුපැදි දෙකකින් ගමන් කරමින් සිටි මිතුරන් දෙදෙනෙකු යටවත්ත ප්‍රදේශයේදී සිදුවූ අවාසනාවන්ත රිය අනතුරු දෙකකින් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වේ.
මාතලේ යටවත්ත වීර පරාක්‍රම විද්‍යාලය අසල පිහිටි බුදු මැදුර අසළදී එක් යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව බුදු මැදුරේ ගැටීමෙන් ප්‍රථම අනතුර සිදුවී ඇත.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ 28 හැවිරිදි පෞද්ගලික අංශයේ සේවයේ නියුතු තරුණයා, පිටුපසින් පැමිණි ඔහුගේ මිතුරා විසින් වහාම ත්‍රිරෝද රථයකට දමා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ.
අනතුරුව, තුවාලකරු රැගත් ත්‍රීරෝද රථය පිටුපසින් තම යතුරුපැදිය ධාවනය කරමින් සිටි අනෙක් මිතුරා, යටවත්ත ඇහැටුවැව ප්‍රදේශයේදී ඉදිරියෙන් පැමිණි කාර් රථයක සහ අසළ තිබූ විදුලි කණුවක ගැටී අනතුරක් සිදුවී ඇත.
එම අනතුරින් යතුරුපැදිය පැදවූ 24 හැවිරිදි විශේෂ කාර්ය බලකා නිලධාරියා එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
බුදු මැදුරේ ගැටීමෙන් මුලින් අනතුරට ලක්ව රෝහල් ගත කළ 28 හැවිරිදි තරුණයාද ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව සඳහන් වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ යටවත්ත පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


