brand logo
logo
 ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෛද්‍යවරුන් 10 වැනිදා කොළඹ විරෝධතාවක

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෛද්‍යවරුන් 10 වැනිදා කොළඹ විරෝධතාවක

08 November 2026


වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනා ගැටලු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින වෛද්‍ය හිඟයට විසඳුම් ඉල්ලා එළැඹෙන 10 වැනිදා කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.


එම සංගමය පැවසුවේ ඒ අනුව අදාළ විරෝධතාව කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.


වසර ගණනාවක් පුරාවට නොවිසඳුණු වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනා ගැටලු සම්බන්ධයෙන් සාධනීය මැදිහත්වීමක් අපේක්ෂාවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ඉල්ලා සිටියද මෙතෙක් ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව එම සංගමය පවසයි.


2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ වෛද්‍යවරුන්ට ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සඳහා නිකුත් කළ බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර අහෝසි කිරීම සහ රාජකාරී වියදම් ආවරණය සඳහා ලබාදෙන දීමනා ඇතුළු සමස්ත වැටුපට අධික බදු පැනවීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.


එමෙන්ම 2025 වසරේ රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයේදී වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනා සහ නිවාඩු දින දීමනාවලින් තුනෙන් එකක ප්‍රමාණයක්, රටේ ආර්ථික තත්ත්වය යහපත් වූ පසු නැවත ගෙවීමේ පොරොන්දුව මත අත්හිටවූ බවද ද සංගමය පෙන්වා දී තිබේ.


මේ අතර, 2015 වසරෙන් පසු සමස්ත සෞඛ්‍ය සේවාව ආවරණය වන පරිදි විද්‍යාත්මක දත්ත මත පදනම් වූ අනුමත කාර්ය මණ්ඩල සංඛ්‍යා සංශෝධනයක් සිදුකර නොමැති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.


සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ මේ වනවිට ක්‍රියාකාරී සේවයේ නිරත වෛද්‍යවරුන් සංඛ්‍යාව 25,000කට අඩු බවත්, රට තුළ සැලකිය යුතු වෛද්‍ය හිඟයක් පවතින බවත් එම සංගමය පෙන්වා දී තිබේ.


2015 වසරේ සිට සෞඛ්‍ය සේවාවේ සේවා පරිමාව මෙන්ම සෞඛ්‍ය ආයතන සහ ඒකක සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගියද ඊට ගැළපෙන පරිදි අනුමත කාර්ය මණ්ඩල සංඛ්‍යාව සංශෝධනය කිරීමට පියවර ගෙන නොමැති බව ද ඔවුන් පවසයි.


මෙම තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය සේවකයින්ට අධික වැඩබරක් පැවරී ඇති අතර ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අභියෝගයක් වී ඇති බව ද සංගමය පෙන්වා දෙයි.


මේ අතර අදාළ ගැටලු සඳහා 2027 අයවැය යෝජනා මගින් විසඳුම් ලබාදීමේ අරමුණින් සකස් කළ යෝජනාවලියක් පසුගිය අගෝස්තු මාසයේදී රජය වෙත ඉදිරිපත් කර ඇති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.


එම යෝජනාවලිය සම්බන්ධයෙන් සාධනීය සාකච්ඡාවක් ඉල්ලා සිටියද මෙතෙක් ඊට ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පවසන එම සංගමය, ඊට විරෝධය පළකරමින් පසුගිය සතිය පුරා ප්‍රධාන රෝහල් ආශ්‍රිතව විරෝධතාවන්ද පැවැත්වූ බවය පැවසීය.


ඒ අනුව වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනා ගැටලුවලට විසඳුම් ලබාදීම, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හිඟය පියවීම සඳහා අනුමත සේවක සංඛ්‍යාව සංශෝධනය කිරීම සහ සාධාරණ ඉල්ලීම් මර්දනය කිරීමට ගන්නා බව කියන ක්‍රියාමාර්ගවලට විරෝධය පළකිරීම ඇතුළු කරුණු මුල්කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්වීමට තීරණය කර තිබේ.


එමෙන්ම අදාළ ගැටලු සඳහා කඩිනමින් සාධනීය විසඳුම් ලබාදෙන ලෙස ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

 

More News..