Best News Website award
brand logo
logo
 අයවැයට එරෙහිව දෙසැම්බර් 01 වැනිදා වෘත්තීය සමිති රැසක් විරෝධතාවකට සැරසෙයි

අයවැයට එරෙහිව දෙසැම්බර් 01 වැනිදා වෘත්තීය සමිති රැසක් විරෝධතාවකට සැරසෙයි

28 November 2026


අයවැයට විරෝධය පළ කරමින් ලබන දෙසැම්බර් මස පළමුවැනිදා පොල්දූව මංසන්ධියේදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය පවසයි.


එම සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ, එදින පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමට නියමිතව තිබීම හේතුවෙන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි.


අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයක් වෙන් කරන බවට පොරොන්දු වෙමින් වත්මන් අග්‍රාමාත්‍යවරිය සිය දේශපාලන ගමන ආරම්භ කළ බව පෙන්වා දුන් උන්වහන්සේ, බලයට පත්වීමෙන් පසු එම පොරොන්දුව ඉටු කර තිබේද යන්න පිළිබඳව රජය පැහැදිලි කළ යුතු බව අවධාරණය කළහ.


තවද, දෙසැම්බර් පළමුවැනිදා පැවැත්වෙන විරෝධතාවයෙන් පසුව සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කිරීමට සූදානම් බවද උලපනේ සුමංගල හිමියෝ ප්‍රකාශ කළහ.

එහිදී අදහස් දැක්වූ උලපනේ සුමංගල හිමියන්,


''අපි පළවෙනිදා අපේ වැය ශීර්ෂය සාකච්ඡාවට ගැනෙන දවස. අධ්‍යාපන වැය ශීර්ෂය. අධ්‍යාපන වැය ශීර්ෂය වැදගත් වෙන්නේ රටේ අධ්‍යාපන ඇමතිතුමිය අගමැතිතුමිය හැටියට තමන්ගේ දේශපාලන ව්‍යාපෘති ආරම්භ කරන්නට යෙදුණේ පිටේ සියයට හය ගහගෙන සියයට හයක් අධ්‍යාපනයට වෙන් කළා කියන සටන් පාඨයෙන් තමයි දේශපාලන අවතීර්ණ වෙන පසුබිම හැදුණේ. අපි කියනවා සියයට හය පිටේ ගහගෙන ඇවිල්ලා බලය ලබා ගත්තට පස්සේ දැන් සියයට හය ගහගන්නේ ඊට වැඩිය පල්ලෙහායින්ද කියන එක තමයි අපි අහන්න තියෙන්නේ. තරහ ලැජ්ජ නැතුව අපි අගමැති අධ්‍යාපන ඇමතිතුමියට කියනවා අපි එන්නේ පාර්ලිමේන්තුව වටරවුමට පොල්දූව මංසන්ධියට එන්නේ. අහන්න වැය ශීර්ෂය ඉදිරිපත් කරන්නේ තමන්ට දේශපාලන පසුබිම සකස් වෙච්ච සියයට හය සටන පාවා දීලද? කෝ දැන් සියයට හය? අපේ වෘත්තිය ක්‍රියාමාර්ග පළවෙනිදා අපි පොල්දූවට කැඳවලා තියෙනවා. අපි තවත් දැඩි කරනවා ඉදිරියේදී. අපිට ඒ ශක්තිය තියෙනවා. අපි බලමු හොරිකඩ මහින්ද ජයසිංහටද ගුරු විදුහල්පතිවරුන්ගේ බලය තියෙන්නේ? එහෙමත් නැත්නම් පොදු ගුරුවරු විදුහල්පතිවරු නියෝජනය කරන වෘත්තිය සංගම් වලටද බලය තියෙන්නේ කියන එක අපි ඉදිරියේ බලමු.''


මේ අතර, 2027 අයවැය තුළින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු සහ ඔවුන් සමඟ ඇති කරගත් එකඟතා පිළිබඳව කිසිදු අවධානයක් යොමු කර නොමැති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව චෝදනා කරයි.


එහි සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ, මෙම තත්ත්වයට විරෝධය පළ කරමින් පසුගිය 18 වැනිදා උද්ඝෝෂණයක් පැවැත්වූ බවත්, අනතුරුව 25 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් සිය ගැටලු ඇතුළත් සංදේශයක් භාරදුන් බවත්ය.


අදාළ ගැටලු විසඳීමට රජය කඩිනමින් මැදිහත් නොවන්නේ නම් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද ඔහු අනතුරු ඇඟවීය.

එහිදී අදහස් දැක්වූ ධම්මික එස්. ප්‍රියන්ත මහතා,


''මේ වෙනකොට 2027 අයවැය නිකුත් කරලා තියෙනවා. ඒ අයවැය තුළ විශ්වවිද්‍යාල පද්ධතියේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ගැන කිසිම සටහනක් නෑ. අපිත් එක්ක ආපු එකඟතාවයන් කිසිවක් ඒ තුළ දැන් අන්තර්ගත වෙලා නෑ. මේකට විරෝධය දක්වලා අපි ප්‍රථමයෙන් 18 වැනිදා උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්තුවා. ඒ වගේම අපි 25 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට ගියා. ගිහිල්ලා අපි එදා සංදේශයක් භාර දුන්නා. එතනදිත් අපි ඉතා පැහැදිලිව කිව්වා මේ ප්‍රශ්න ඉවර කරන්න ජනාධිපතිතුමා මැදිහත් වෙලා වහාම සාකච්ඡාවක් දීලා වර්තමාන රජයේ එතුමාගේ අයවැයේ විශ්වවිද්‍යාලයට කර අසාධාරණය, අගතිය නිවැරදි කරන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ කියලා. මොකද මේ රටේ මෙතෙක් බිහි වූ කිසිදු රජයක් වර්තමාන රජය වගේ විශ්වවිද්‍යාල ප්‍රජාවට, විශ්වවිද්‍යාල පද්ධතියට අසාධාරණයක් මේ වගේ කරලා නෑ. ඒ නිසා අපි ඉතාමත්ම ඕනෑකමින් වර්තමාන රජයට කියනවා වහාම ඒක නිවැරදි කරන්න අවශ්‍ය මැදිහත් වීම කරන්න. අපි නැවතත් දෙසැම්බර් පළවෙනි දින පියවර ප්‍රජාව කොළඹට කැඳවලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරනවා රජයේ මේ ක්‍රියාකලාපයට එරෙහිව. ඒ නිසා අපි රජයට නැවත නැවතත් කියනවා වහාම මැදිහත් වෙලා මේක නිවැරදි කරන්න. එසේ නොවන්නේ නම් වර්තමාන රජය විසින් නිර්මාණය කරන ලද ඒ ගැටලු නිරාකරණය කරන තෙක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අර්බුද නිර්මාණය වෙයි.''


මේ අතර, ගුරුවරුන් සහ රාජ්‍ය සේවකයින් ඇතුළු වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් රජය කටයුතු කරන ආකාරය විවේචනය කරමින් නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සිරිතුංග ජයසූරිය මහතා ප්‍රකාශ කළේ, සිය මධ්‍යස්ථානය ඉදිරියේදී ක්‍රියාත්මක වන සියලු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා සහාය ලබාදීමට තීරණය කර ඇති බවයි.


වෘත්තීය සමිතිවල ඉල්ලීම්වලට සාධනීය ප්‍රතිචාර දැක්වීම වෙනුවට රජය තර්ජනාත්මක ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා කළ ඒ මහතා, කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිතිවලට එරෙහිව බලපෑම් කිරීම අනුමත කළ නොහැකි බවද සඳහන් කළේය.


එමෙන්ම, නොවැම්බර් 30 වැනිදා සිට ගුරුවරුන් ආරම්භ කිරීමට නියමිත විරෝධතා ක්‍රියාමාර්ගය තීරණාත්මක එකක් වනු ඇති බවත්, එය සාර්ථක කර ගැනීම සඳහා සිය මධ්‍යස්ථානයේ පූර්ණ සහාය ලබාදෙන බවත් සිරිතුංග ජයසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.


එහිදී අදහස් දැක්වූ නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සිරිතුංග ජයසූරිය මහතා,


''ගුරුවරු ඒ වගේම රාජ්‍ය සේවකයෝ විශාල වශයෙන් තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරලා තියෙන්නේ. ආණ්ඩුව අද චණ්ඩි පාට් දාන්න පටන් අරන් තියෙනවා. අනුර කුමාර එයාගේ වෘත්තීය සමිති කැඳවලා අපි දන්නේ නෑ ඔක්කොම ආවේ සාමාජිකයෝද ඒගොල්ලන්ගේ පැලවත්තේ සාමාජිකයෝද කියලා. කොහොමහරි හාර පන්දාහක් ඒගොල්ලෝ ගේනවනේ. ඒගොල්ලෝ ආණ්ඩුව පිහිටන්න කලිනුත් ඒක කරනවා. මේගොල්ලෝ ගෙනල්ලා ඉවර වෙලා ජනතාවට කම්කරු පන්තියට තර්ජනයක් කරනවා බලහත්කාරයෙන් කෑගහලා ගන්න බෑ එහෙම නම් දෙන්නෙම නෑ කියලා. ඔයිට වඩා ලොකුවට කතා කරපු ජනාධිපතිවරු අපි දැකලා තියෙනවා. ඔයිට වඩා මේ ලොකු දේවල් කියලා හොම්බෙන් ගියපු ජනාධිපතිවරුත් අපි දැකලා තියෙනවා. අද කම්කරුන්ට විරුද්ධව එළිපිට කතා කරන මේ මහින්ද ජයසිංහ සමඟ සාකච්ඡාවලට වෘත්තීය සමිති යෑම ගැන නැවත හිතා බලන්නට ඕනේ. මේකෙන් ප්‍රයෝජනයක් නෑ. එයා තනිකරම ධනපති ආණ්ඩුවේ ගැත්තරයෙක්, ආරක්ෂකයෙක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතාම තීරණාත්මක තැනකට පත් වෙන්නේ තිස් වෙනිදා ආරම්භ වෙන ගුරුවරුන්ගේ නිවාඩු දලා ආණ්ඩුවට විරෝධය දැක්වීමේ කටයුත්ත. අපේ නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සම්පූර්ණ සහයෝගය ප්‍රකාශ කරනවා විතරක් නෙවෙයි ඒක සාර්ථක කිරීම වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා.''

 

More News..