ගුරුවරුන් ලක්ෂයකට පළමු ශ්‍රේණියට උසස් වීම්
21 September 2026 | නිලන්ත මදුරාවල
ගුරුවරුන් ලක්ෂයකට පළමු ශ්‍රේණියට උසස් වීම්
21 September 2026 | නිලන්ත මදුරාවල
වසර හයක පමණ කාලයක් උසස් වීම් අහිමිව සිටි ගුරුවරුන් ලක්ෂයක පමණ පිරිසක් ගුරු සේවයේ පළමු ශ්‍රේණියට උසස් කිරීමේ චක්‍රලේඛයක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබේ.
අමාත්‍යාංශය මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මත ඉකුත් 18 වැනිදා ය.
පසුගිය 2022 වසරේ ඔක්තෝබර් මස 23 දින සිට 2025 වසරේ ජුනි මස 30 වැනිදා දක්වා කාලයේ ගුරු සේවයේ පළමු ශ්‍රේණියට උසස් වීමේ දී අදාළ වන කාර්යක්ෂමතා කඩඉම් III සම්පූර්ණ කිරීම අවශ්‍ය වූ නමුත් ගුරු වෘත්තීය සංගම්වල ඉල්ලීම මත එම අවශ්‍යතාවෙන් ගුරුවරුන් නිදහස් කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙලෙස නිදහස් කර ඇත්තේ ඊළඟ ශ්‍රේණි උසස් වීමට පෙර එම කාර්යක්ෂමතා කඩඉම සපුරන කොන්දේසිය මත ය.
ශ්‍රේණි උසස් වීමට අදාළ මොඩියුල මේ වන විටත් සම්පූර්ණ කර ඇත්නම් ඔවුන් නැවත කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්පූර්ණ කිරීම අවශ්‍ය නොවන අතර නියමිත දිනට අදාළ ශ්‍රේණි උසස් වීම ලැබීමට හිමිකම් ලබන බවත් චක්‍රලේඛයේ සඳහන් වෙයි.
නව කාර්යක්ෂමතා කඩඉම් ක්‍රමවේදය යටතේ මේ වන විට විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ගැසට් මගින් අයැදුම්පත් කැඳවා ඇති අතර එම ගැසට් නිවේදන අනුව එක් එක් ශ්‍රේණියේ කඩඉම් විභාගය පැවැත්වෙන දින දක්වා උසස්වීම් දින යෙදී ඇති ගුරුවරුද අදාළ ශ්‍රේණියේ කඩඉම් අවශ්‍යතාවෙන් නිදහස් කර ඇත.
මේ වන විට යම් ශ්‍රේණියකට අදාළ උසස්වීම මෙම චක්‍රලේඛයේ සඳහන් දිනවලට පසුව යෙදී ඇති එහෙත් පෙර පැවැති කාර්යක්ෂමතා කඩඉම් ක්‍රමවේදය අනුව අදාළ ශ්‍රේණියේ මොඩියුල සම්පූර්ණ කර ඇති ගුරුවරු ද නව ක්‍රමවේදය යටතේ නැවත කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවෙන් නිදහස් කර ඇත.

