brand logo
logo
විශ්‍රාමික කර්නල් නලින් හේරත් ලෝක සාම මණ්ඩලයේ ගෝලීය ආරක්ෂක සභාවට

විශ්‍රාමික කර්නල් නලින් හේරත් ලෝක සාම මණ්ඩලයේ ගෝලීය ආරක්ෂක සභාවට

16 September 2026

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික කර්නල් නලින් හේරත් මහතා ජාත්‍යන්තර ‘ලෝක සාම මණ්ඩලයේ’ (World Peace Board - WPB) යුද කටයුතු පිළිබඳ ගෝලීය පාලක සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කර තිබේ.


ගැටුම් වළක්වා ගැනීම සහ ගෝලීය සාමය තහවුරු කිරීම වෙනුවෙන් පෙනී සිටින මෙම ජාත්‍යන්තර සංවිධානය සිය නිල නිවේදනයක් මඟින් මෙම පත්වීම ප්‍රකාශයට පත් කළේය.


ආරක්ෂක ක්ෂේත්‍රය, ජාතික ආරක්ෂාව, මානව හිමිකම්, සාගරික කටයුතු සහ උපායමාර්ගික සහයෝගීතාව පිළිබඳ වසර ගණනාවක පුළුල් අත්දැකීම් සම්භාරයක් සහිත මෙරට හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු මෙලෙස ගෝලීය ආරක්ෂක මණ්ඩලයකට එක්වීම කැපී පෙනෙන සිදුවීමකි.


කර්නල් නලින් හේරත් (විශ්‍රාමික) ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙන්ම ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ (INSS) හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කර ඇත.


ඔහු වර්තමානයේ ලංකා නැව් වාණිජ මණ්ඩලයේ මහලේකම්වරයා ලෙස කටයුතු කරන අතර, එක්සත් රාජධානියේ 'ලන්ඩන් ඩයලොග්' හි නොවැසි සාමාජිකයෙකු සහ දකුණු ආසියානු තිරසාරභාවය හා ආරක්ෂක පර්යේෂණ ආයතනයේ (SASSRI) විධායක අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර ඇත.


මෙම පත්වීම පිළිබඳව අදහස් දක්වමින් ලෝක සාම මණ්ඩලය අවධාරණය කර ඇත්තේ, සංවිධානය තුළ ක්‍රියාත්මක වන හමුදා කටයුතු පිළිබඳ කවුන්සිලයේ මූලික අරමුණ යුද්ධය සඳහා සූදානම් වීම නොව, යුද්ධය වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ සතු විශේෂඥතාව ඵලදායී ලෙස යොදා ගැනීම බවය.


ගැටුම් වැළැක්වීම, මානව ආරක්ෂාව සහ සාගරික කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් ගැටුම්කාරී ප්‍රවේශයන් වෙනුවට සංවාදය මූලික කරගත් විසඳුම් කරා එළඹීමට කර්නල් හේරත් මහතා සතු වෘත්තීය පසුබිම ශක්තිමත් පදනමක් සපයන බව ඔවුන්ගේ විශ්වාසය වේ.


ඉන්දියන් සාගර කලාපීය භූ-දේශපාලනික ආතතීන් සහ සාගරික වෙළඳ මාර්ගවල ආරක්ෂාව පිළිබඳ ගෝලීය අවධානය යොමුව ඇති වටපිටාවක, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවැනි ක්ෂේත්‍ර ප්‍රවීණයෙකු ජාත්‍යන්තර සාම සාකච්ඡා වේදිකාවකට එක්වීම කලාපීය ආරක්ෂක කතිකාවට වැදගත් සන්ධිස්ථානයකි.

 

 

More News..