එජාපයෙන් ආණ්ඩුවට චෝදනා
23 October 2026
එජාපයෙන් ආණ්ඩුවට චෝදනා
23 October 2026
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මහනුවර සිට පාගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් නිකුත් කළ අධිකරණ නියෝගයට ඇතුළත් කර තිබූ හිමිවරුන්ගේ නම් පසුව ඉවත් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සිය විරෝධය පළ කර සිටියි.
එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙන්නේ මෙලෙස නම් ඉවත් කිරීම තුළින් හිතාමතාම බරපතළ වරදක් සිදුකර ඇති බවයි. අදාළ ක්රියාදාමයට සම්බන්ධ නොවූ භික්ෂූන් වහන්සේලාගේ නම් පවා මුලින් අධිකරණ නියෝගයට ඇතුළත් කර තිබූ බවත්, එලෙස නම් ඇතුළත් කිරීමට හේතු වූ කරුණු මොනවාදැයි ප්රශ්න කරන බවත් එම පක්ෂය සඳහන් කරයි. පසුව එම නම් ඉවත් කරගැනීම මගින් අධිකරණය නොමඟ යැවීමක් සිදුව ඇති බවට ද ඔවුහු චෝදනා කරති.
එමෙන්ම, භික්ෂූන් වහන්සේලාගේ නම් අදාළ නියෝගයෙන් ඉවත් කිරීම තුළින් උන්වහන්සේලාගේ ක්රියාකාරකම් ආරක්ෂාවට තර්ජනයක් නොවන බව තහවුරු වන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
වත්මන් ආණ්ඩුව නියෝජනය කරන පිරිස් මීට පෙර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවති අරගලයට සහ විරෝධතාවලට සහයෝගය ලබාදුන් බව සිහිපත් කරන එක්සත් ජාතික පක්ෂය, එදා එම විරෝධතාවලට සහාය දුන් පිරිස් අද ඊට ප්රතිවිරුද්ධ ක්රියාමාර්ග අනුගමනය කරන්නේ කෙසේදැයි ප්රශ්න කර සිටියි.
වත්මන් ආණ්ඩුව බුද්ධාගමට සහ මහා සංඝරත්නයට එරෙහි ක්රියාමාර්ග අනුගමනය කරන බවට ද චෝදනා කරන එක්සත් ජාතික පක්ෂය, ආණ්ඩුවේ මෙම ක්රියාපිළිවෙත දැඩි ලෙස හෙළා දකින බවත්, බුද්ධ ශාසනයට සහ භික්ෂූන් වහන්සේලාට හානි කිරීමට කිසිදු ලෙසකින් ඉඩ නොදෙන බවත් අවධාරණය කරයි.

