කාන්තා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනා
02 November 2026
කාන්තා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනා
02 November 2026
"කාන්තාව, සාමය සහ ආරක්ෂාව" පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවන්හි නිල නොවන සිංහල සහ දෙමළ පරිවර්තන එළිදැක්වීම කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (02) බත්තරමුල්ලේදී සිදුවිය.
ඒ, පසුගිය ඔක්තෝබර් මස 31 වැනිදාට යෙදුණු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1325 යෝජනාවේ 26 වන සංවත්සරයට සමගාමීවය.
සාමයට පියමං (Pathways to Peace) සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය ප්රමුඛ කැනේඩියානු රජයේ අනුග්‍රහයෙන් සිදුකළ මෙම පරිවර්තනවල මුද්‍රිත පිටපත් පිළිගැන්වීම ද මෙහිදී සිදුවිය.
කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ න්‍යාය පත්‍රය (Women, Peace and Security Agenda) යනු සන්නද්ධ ගැටුම් හා යුදමය තත්ත්වයන් තුළ කාන්තාවන් සහ ගැහැනු ළමුන් මුහුණ දෙන විශේෂිත අභියෝග හඳුනාගනිමින්, සාමය ගොඩනැගීම, ගැටුම් වැළැක්වීම සහ ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රියාවලීන් සඳහා කාන්තාවන්ගේ සමාන හා සක්‍රීය සහභාගීත්වය සහතික කිරීම අරමුණු කරගත් ජාත්‍යන්තර ප්‍රතිපත්තිමය රාමුවකි.
2000 ඔක්තෝබර් 31 දින සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1325 යෝජනාව මඟින් ගැටුම් වැළැක්වීම, ගැටුම් නිරාකරණය, සාම සාකච්ඡා සහ සාමය ගොඩනැගීමේ ක්රියාවලින්හිදී කාන්තාවන්ගේ භූමිකාව සහ සහභාගීත්වය අවධාරණය කරන ලදී.
එමෙන්ම සන්නද්ධ ගැටුම්වලදී කාන්තාවන් හා ගැහැනු ළමුන් ආරක්ෂා කිරීම, ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය වැළැක්වීම සහ සහන හා ප්‍රතිසංස්කරණ කටයුතුවලදී කාන්තාවන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගැනීම ද මෙම න්‍යාය පත්‍රයේ ප්‍රධාන අරමුණු අතර වේ.
මෙම අවස්ථාව ආමන්ත්‍රණය කරමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසා සිටියේ, ජාත්‍යන්තර ප්‍රතිපත්ති, යෝජනා සහ තීරණ පිළිබඳ දැනුම භාෂා බාධකයකින් තොරව සියලු දෙනාටම ලබාගත හැකි වීම, කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය පුළුල් කිරීමටත්, සාමය සහ ආරක්ෂාව සම්බන්ධ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සඳහා කාන්තාවන්ගේ සක්‍රීය දායකත්වය ඉහළ නැංවීමටත් වැදගත් පියවරක් වන බවය.
තවද, භාෂාව දැනුමට බාධාවක් නොවිය යුතු අතර දැනුවත්භාවය, සමානත්වය සහ සහභාගීත්වය තුළින් සාමකාමී සමාජයක් ගොඩනැගීම අප සැමගේ වගකීමක් බව ද අමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් අවධාරණය කළාය.

