brand logo
logo
ත්‍රස්ත පනතට එරෙහි පෙත්සම් විභාගයේ අවසන් තීන්දුව කතානායකට

ත්‍රස්ත පනතට එරෙහි පෙත්සම් විභාගයේ අවසන් තීන්දුව කතානායකට

22 October 2026 | කේ. එස්. උදයකුමාර

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව නියෝග කර තිබේ.


මෙම පෙත්සම් පිළිබඳ වාචික දේශන ඉදිරිපත් කිරිම ඊයේ රාත්‍රී අවසන් කෙරුණු අතර ලිඛිත දේශන තිබේ නම් ඒවා හෙට (23) දිනය තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පාර්ශවකරුවන්ට නියම කර තිබේ. 


ඉන් අනතුරුව මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායක වරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කර තිබේ. 


අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අධිකරණය හමුවේ පෙත්සම් 27 ක් ගොනු කර තිබුණි.


එම පෙත්සම් වලින් සදහන් කර තිබුණේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය වීමක් සිදු වන බවයි.


ඒ අනුව අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබේ.

 

More News..