බෙංගාල බොක්ක කැළැඹී 14, 15, 16 වැසි වැඩිවෙයි
12 November 2026 | සාලිය කුමාර ගුණසේකර
බෙංගාල බොක්ක කැළැඹී 14, 15, 16 වැසි වැඩිවෙයි
12 November 2026 | සාලිය කුමාර ගුණසේකර
මේ දිනවල ලංකාවට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් 14, 15 සහ 16 යන දිනවල දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් පැවසීය.
විශේෂයෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ, බස්නාහිර යන පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බවද ඔහු පැවසීය.
ඉදිරි කාලගුණික තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (11 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.
අද (12 වැනිදා) සහ හෙට (13 වැනිදා) දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි තවදුරටත් අපේක්ෂා කිරීමේ හැකියාව පවතින බවත්, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ යන පළාත් සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක ආශ්‍රිතව මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකි බවද ඔහු කීවේය.
ලංකාවට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැලඹිලි ස්වභාවය හෙට (13 වැනිදා) පමණ වනවිටදී අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බැවින්, හෙට (13 වැනිදා) සිට 16 වැනිදා දක්වා ඉදිරි දින කීපය තුළදී එම පද්ධතියේ බලපෑම මෙරටට පවතින බවද ඔහු පැවසීය.
මෙම අඩු පීඩන කලාපය තවදුරටත් පීඩන අවපාතයක් සහ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මෙරට නැගෙනහිර වෙරළට සමාන්තරව ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ දෙසට ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බවද අධ්යක්ෂවරයා කියා සිටියේය. මෙම පද්ධතිය ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ හැකියාව බොහෝ දුරට අඩු බවද ඔහු පැවසීය.
මෙම පද්ධතිය බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වන බැවින් ඉන් ධීවර හා නාවික ප්‍රජාවට බලපෑමක් සිදුවිය හැකි බවත්, මේ නිසා විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන ජනතාව ඉදිරි කාලගුණ අනාවැකි සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඉල්ලා සිටින බවද ඔහු කීවේය.
මේ වනවිට මෙරට පවතින්නේ දෙවන අන්තර් මෝසම් තත්ත්වය බවත්, දෙවන අන්තර් මෝසම ආරම්භ වූයේ ඔක්තෝබර් මාසයේදී බවද ඔහු පැවසීය.
එල්නිනෝ තත්ත්වය සහ තවත් කාරණා කීපයක් මත දෙවැනි අන්තර් මෝසමේ සැලකිය යුතු වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බවද ඔහු කීවේය.


