කොළඹ වරායේ ටැංකියක තෙල් කාන්දුවකින් මුතුවැල්ල වෙරළ තීරයට හානි
23 November 2026
කොළඹ වරායේ ටැංකියක තෙල් කාන්දුවකින් මුතුවැල්ල වෙරළ තීරයට හානි
23 November 2026
කොළඹ වරායේ පිහිටි තෙල් ගබඩා ටැංකියකින් සිදුවූ තෙල් කාන්දුවක් හේතුවෙන් මුතුවැල්ල වෙරළ තීරය ආසන්නයේ කිලෝමීටර් තුනකට අධික වෙරළ තීරයක් දූෂණයට ලක්ව ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි JCT අංක 108 දරන තෙල් ටැංකියෙන් පසුගිය නොවැම්බර් 21 වැනිදා සිදුවූ තෙල් කාන්දුවක් හේතුවෙන් නාගරික ජලාපවහන පද්ධතියට තෙල් එක්වී තිබේ.
එම තෙල් මුතුවැල්ල වෙරළ තීරය ඔස්සේ මුහුදට එක්වීම හේතුවෙන් වෙරළබඩ පරිසරය දූෂණයට ලක්ව ඇති බව එම අධිකාරිය සඳහන් කරයි.
JCT අංක 108 දරන තෙල් ටැංකියේ ගබඩා ධාරිතාව ටොන් 1,000ක් පමණ වන අතර, සිද්ධිය සිදුවන අවස්ථාවේදී එය සම්පූර්ණ ධාරිතාවයෙන් පුරවා තිබූ බව වාර්තා වේ.
අදාළ ටැංකියෙන් කාන්දු වී ඇත්තේ ගබඩා කර තිබූ සමුද්‍රීය ගෑස් තෙල් වර්ගයකි.
හානි වූ හෝ සිදුරක් ඇති වූ ජලය බැහැර කිරීමේ කපාටයක් හරහා මෙම තෙල් කාන්දුව සිදුවන්නට ඇති බවට සැක පළ කරයි.
පසුගිය නොවැම්බර් 21 වැනිදා උදෑසන මෙම තෙල් කාන්දුව ආරම්භ වී ඇති බවට වාර්තා වන අතර, එදින පෙරවරුවේම මේ පිළිබඳව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුවත් කර තිබේ.
ඒ අනුව, අධිකාරියේ නිලධාරීන් කඩිනමින් අදාළ ස්ථානයට පැමිණ තත්ත්වය නිරීක්ෂණය කර ඇති අතර, අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය වෙමින් අවශ්‍ය ප්‍රතිචාර ක්‍රියාමාර්ග සඳහා තාක්ෂණික මඟපෙන්වීම් ලබා දීමට ද කටයුතු කර තිබේ.
එදින පෙරවරු 10.30 පමණ වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් තෙල් කාන්දුව නතර කිරීමට කටයුතු කර තිබුණ ද, ඒ වන විටත් කාන්දු වූ තෙල්වලින් යම් ප්‍රමාණයක් නාගරික ජලාපවහන ඇළ මාර්ගයට එක්වී තිබේ.
එම ඇළ මාර්ගය ඔස්සේ තෙල් මුතුවැල්ල වෙරළ තීරයෙන් මුහුදට එක්ව ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
මේ හේතුවෙන් මුතුවැල්ල වෙරළ තීරයේ බෝට්ටු නැංගුරම්ලා තබන ස්ථානය ද ඇතුළුව කිලෝමීටර් තුනකට අධික වෙරළ තීරයක් දූෂණයට ලක්ව ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, කාන්දු වූ තෙල් පාලනය කිරීම සහ ඉවත් කිරීම, පරිසරයට සිදුවිය හැකි හානිය අවම කිරීම මෙන්ම බලපෑමට ලක්වූ වෙරළබඩ පරිසරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් පවසයි.


