brand logo
logo
 කෝටිපතියාගේ නිවසට පැන කෝටි 7ක මැණික්-රන් කොල්ලකාලා

කෝටිපතියාගේ නිවසට පැන කෝටි 7ක මැණික්-රන් කොල්ලකාලා

12 November 2024 | කේ.කේ. අරියදාස - දඹුල්ල සුනිල් රූපසිංහ - පල්ලේපොළ



ලග්ගල දේවාලදෙණිය ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසට පෙරේදා (10වැනිදා) ඇතුළු වී ඇති නාඳුනන පස්දෙනකු එම ව්‍යාපාරිකයා, බිරිඳ සහ ව්‍යාපාරිකයාගේ පියාගේ දෑත් දෙපා ගැටගසා රුපියල් කෝටි හතක් පමණ වටිනා මැණික් ස්වර්ණාභරණ සහ මුදල් මෙන්ම මෝටර් රථයක් පැහැරගෙන ගොස් ඇතැයි ලග්ගල පොලිසිය කියයි.


පැහැරගෙන ගිය මෝටර් රථය ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ තලකිරියාගම මහා මාර්ගය අසල දමා ගොස් තිබියදී ඊයේ (11 වැනිදා) පෙරවරුවේ සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.


ලග්ගල පොඩි රෝහණ ජෙම්ස් නමින් ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු වන සුසන්ත ප්‍රදීප් කුමාර නමැති අයගේ මුදල් රන් භාණ්ඩ මෙන්ම කෝටි තුනක් පමණ වටිනා මැණික් ගලක් මෙසේ සොරාගෙන ගොස් ඇතැයි ලග්ගල පොලිසිය කියයි.


රාත්‍රි නමය පසුවනවාත් සමග මෙම ව්‍යාපාරිකයා නිවසට පැමිණ නිවස ඉදිරිපිට බුදු මැදුරේ බුදුන් වඳිමින් සිටියදී නිවස වටා ඇති තාප්පයකින් පැන ආ පැමිණි මුහුණු ආවරණය කරගෙන සිටි පුද්ගලයන් පස්දෙනකු පිස්තෝලයක් හිසට තබා ව්‍යාපාරිකයාගේ දෑත් දෙපා සෙලෝ ටේප්වලින් අලවා ඔහු ඔසවාගෙන ගේ තුළට රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.


නිවස තුළ සිටි ඔහුගේ පියාගේ මෙන්ම බිරිඳගේද දෑත් දෙපා ගැටගසා නිවස තුළ තිබුණු මුදල් රන් භාණ්ඩ, මැණික් ගල්, ජංගම දුරකථන මෙන්ම මෝටර් රථයද රැගෙන ගිය බවත් ඔවුන් පිටව යන අවස්ථාවේදී ඔහුගේ පියාගේ දෙපා ලෙහා හිස අතගා පිටව ගොස් ඇති බවත් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ව තිබේ. කොල්ල කණ්ඩායම විනාඩි හතළිහක් පමණ මෙම නිවසේ රැඳී සිට ඇති අතර රුපියල් කෝටි තුනක් පමණ වටිනා මැණික් ගල සේප්පුව විවෘත කරවා රැගෙන ඇත.


ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ තලකිරියාගම මහමග දමා ගොස් තිබුණු මෝටර් රථය පොලිස් පරීක්ෂාවට ලක් කෙරිණි. දඹුල්ල පොලිසියට අයත් නිල පොලිස් සුනඛ අංශයේ ‘ගියෝ’ නමැති පොලිස් නිල සුනඛයා රැගෙන ගොස් කොල්ලයට පැමිණි අය දමා ගිය බවට සැක කරන පාවහන් යුගලයක් ඔස්සේ පරීක්ෂණ ඇරඹිණි.


මෙම ව්‍යාපාරිකයා, බිරිඳ සහ ඔහුගේ පියා මේ වන විට විද්‍යාත්මක පරීක්ෂණ කටයුත්තක් සඳහා දඹුල්ලක් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.


මෙම නිවස වටේටම තාප්ප ගසා ආරක්ෂිත කැමරා පද්ධති සවිකොට ගේට්ටු දමා දැඩි රැකවරණයක් දමා තිබුණු බවද පොලිසිය සඳහන් කර සිටියේය. කෙසේ වෙතත් ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්තයන් මෙම කණ්ඩායම විසින් රැගෙන ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.


මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ සිද්ධිය සැලවූ මොහොතේම පොලිස් කණ්ඩායම් සමග එහි ගොස් පලා යන මෝටර් රථය කොටුකර ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොමුකර ඇත. සීසීටීවී ඇතුළු දත්ත සොයා පැමිණි කණ්ඩායම පිළිබඳව පරීක්ෂණ පවත්වන බව ලග්ගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික පද්මරාජ සඳහන් කළේය.


සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චරිත් අනුරාධ, පොලිස් සැරයන් 8415 ඒකනායක, පොලිස් කොස්තාපල්වරුන් වන 87184 රාජපක්ෂ, 14751 කුමාර, 21662 රංජිත්, 8398 වීරකෝන්, 99.1192 ජයසිංහ, 82287 අමිත් මෙන්ම දඹුල්ල නිල සුනඛ අංශයේ 49931 විතාරණ යන නිලධාරිහු පරීක්ෂණ පවත්වති.

 

More News..