දියමන්ති කුසලානය වෙනුවෙන් රුමේෂ් අනිද්දා සටනේ
04 September 2026
දියමන්ති කුසලානය වෙනුවෙන් රුමේෂ් අනිද්දා සටනේ
04 September 2026
ඩයමන්ඩ් ලීග් තරගාවලි මාලාවේ අවසන් මහා තරගාවලිය සඳහා පිටිය ඉසව්වකින් සුදුසුකම් ලත් මෙරට පළමු ක්‍රීඩකයා වන හෙල්ල විසි කිරීම ක්‍රීඩක රුමේෂ් තරංග අනිද්දා (6 වැනිදා) බෙල්ජියමේදී සිය ඉසව්ව සඳහා තරග බිමට පිවිසීමට නියමිතය.
අද (4 වැනිදා) මෙරට වේලාවෙන් රාත්‍රි 9.35ට බ්‍රසල්ස්හිදී ඇරැඹෙන දෙදින තරගාවලියේ සහ පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්ව මෙරට වේලාවෙන් අනිද්දා මධ්‍යම රාත්‍රි 12.10ට ඇරැඹීමට නියමිතය. එහිදී, මෙම වසරේ හෙල්ල විසි කිරීම ඉසව්වේ හොඳම දක්ෂතාව (මීටර් 92.62) සහිත ක්‍රීඩකයා මෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ක්‍රීඩකයා වන රුමේෂ් තරංග ජයග්‍රහණය සඳහා ඉහළ අවස්ථාවක් ද සමගින් තරග කරනු ඇත. රුමේෂ්ට පසු මෙම වසරේ හොඳම දක්ෂතාව සහිත ක්‍රීඩකයා මෙන්ම ඉකුත් වසර ඩයමන්ඩ් ලීග් ශූරයා වන ජූලියන් වෙබර් තරගාවලියට සහභාගි නොවීම සහ වසරේ තෙවැනි හොඳම දක්ෂතාව සහිත ක්‍රීඩකයා වන ඔලිම්පික් ශූර නීරජ් චොප්රා ආබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් රුමේෂ්ට ලැබෙන තරගය අවම වනු ඇතැයි අපේක්ෂා කළ හැක. කෙසේ වෙතත් ඩයමන්ඩ් ලීග් සහ ලෝක ශූර ගෙනෙඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්, ඔලිම්පික් සහ ලෝක ශූර කෙෂෝන් වොල්කොට්, කර්ටිස් තොම්සන්, ලෝක ශූර ජූලියස් යේගෝ, ඩේවිඩ් වෙග්නර් සහ ටිමොති හර්මන් රුමේෂ්ගේ ප්‍රතිවාදීන් ලෙස තරග කිරීමට නියමිතය.
පිරිමි සහ කාන්තා අංශ සඳහා ඉසව් 16 බැගින් ඇතුළත් තරගාලිය සඳහා මොන්ඩෝ ඩුප්ලන්ටිස්, ඔබ්ලික් සෙවිල්, කොලෙන් කෙබිනිචිපි, ෂකාරි රිචඩ්සන්, ජූලියන් ඇල්ෆ්‍රඩ් වැනි සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිවීමට නියමිතය. මෙහිදී ඉසව්වක ශූරයා හෝ ශූරිය සඳහා සුවිශේෂී දියමන්ති හැඩැති කුසලානය සමගින් ඇ.ඩො. 30,000ක (ආසන්න වශයෙන් රු.9,840,000ක්) ත්‍යාග මුදලක් හිමිවන අතර හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්ව ඇතුළු තෝරාගත් ඉසව් 8ක් සඳහා එම ත්‍යාග මුදල දෙගුණ වීම විශේෂත්වයකි. ඉසව්වක දෙවැනි ස්ථානයට ඇ.ඩො. 12,000ක සිට 9වැනි ස්ථානයට ඇ.ඩො. 500ක් දක්වා ද, තෝරාගත් ඉසව් 8 හි ඉසව්වක දෙවැනි ස්ථානයට ඇ.ඩො. 20,000ක සිට 9වැනි ස්ථානයට ඇ.ඩො. 500ක් දක්වා ද මුදල් ත්‍යාග පිරිණැමේ.

