Best News Website award
brand logo
logo
ලබන වසරේ සිට සියලු පෙර පාසල් සඳහා පොදු විෂය මාලාවක්

ලබන වසරේ සිට සියලු පෙර පාසල් සඳහා පොදු විෂය මාලාවක්

22 November 2026


2027 වසරේ සිට දිවයිනේ සියලුම පෙර පාසල් සඳහා එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම මේ වන විට සකස් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා පවසයි.


ඔහු සඳහන් කළේ මෙරට මෙතෙක් ප්‍රමාණවත් අවධානයක් යොමු නොවූ පූර්ව ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රයේ වෙනසක් ඇති කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවය.


ඒ අනුව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් සභා ඒකාබද්ධව පෙර පාසල් සඳහා පොදු විෂය මාලාවක් හඳුන්වා දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පුහුණු කටයුතු ද මේ වන විට සිදු කරමින් පවතින බව ඔහු සඳහන් කළේය.


2027 අයවැය මඟින් රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමෙන් ඔබ්බට ගොස්, ජනතාව අපේක්ෂා කළ සමාජ හා ආර්ථික පරිවර්තනය කරා රට ගෙන යාමට මූලික ප්‍රවේශයක් ලබාදී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.


ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පළමු වසර දෙක තුළ අවධානය යොමු කළේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා බවත්, මේ වන විට එම අරමුණ යම් මට්ටමකට සාක්ෂාත් කරගෙන ඇති බැවින් ඉදිරි වසර තුළ රටේ නව පරිවර්තනයක් ඇති කිරීම අපේක්ෂාව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


එමෙන්ම, රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහ පොදු ප්‍රවාහන සේවය නවීකරණය කිරීම ඇතුළු ක්ෂේත්‍ර රැසක වෙනස්කම් සිදුකිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.


කාන්තා ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම මෙන්ම දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය සහ යහපැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් ද මෙවර අයවැය තුළින් විශේෂ අවධානයක් යොමු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

More News..